தமிழ்
English
Contact
Friday 8th September 2017    
පිරිවෙන් අධ්‍යාපනයේ තවත් එක් අමිහිරි කතාවක්! « Lanka Views | Views of the truth

පිරිවෙන් අධ්‍යාපනයේ තවත් එක් අමිහිරි කතාවක්!



දිනය – 2016 ජූලි 27 – ජාතික පිරිවෙන් දිනය
වේලාව – උදෑසන නවයයි
තැන – මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගනය

ජාතික පිරිවෙන් දිනය උත්සවාකාරයෙන් සැමරීමට සියලූ කටයුතු සූදානමින් පවතී. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිමිවරු සහ ආචාර්ය මහාචාර්ය ආණ්ඩු ගැති වහන්සේලා ඔහු පිළිගැනීමට ලක ලෑස්ති වෙමින් සිටී. මේ අතරතුර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය අත්පත‍්‍රිකාවක් බෙදීමට සූදානම් වූයේ පිරිවෙන් දිනය යැයි කියා ගනිමින් පිරිවෙන් අධ්‍යාපනයට මළබෙර වැයීමට සූදානම් වීමට එරෙහිව ය. එතනට කඩා වැදුණු ආණ්ඩු ගැත්තෝ වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස තර්ජනය කළහ. එතැනින් ඉවත් නොවුවහොත් අත්අඩංගුවට ගන්නා බවට ද තර්ජනය කරන්නට යෙදුණි. සිවුරු පාවඩ කරමින් දේශපාලූවන්ගේ  ඕනෑ එපාකම් වෙනුවෙන් කඩේ යන මඩි තරකරගැනීමේ බලකාය, කුඩා අත්පත්‍රිකාවක් නිසා දැඩි භීතියකට පත් වී ඇති බව පැහැදිළිව දක්නට ලැබුණි.

මෙහි පැහැදිළි කරගත යුත්තේ එසේ බිය වීමට ඇති හේතු කාරණා කුමක් ද යන්න ය. අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය ගැටඹේ ක‍්‍රිඩාංගනය සමීපයේ බෙදා හරින්නට යෙදුණේ බෝම්බ වැනි පුපුරණ ද්‍රව්‍ය නම් අතිශයින් ම බිය විය යුතු ය. එබැවින් එම සංවිධායකවරුන් එතරම් බිය වීමට බලපෑ හේතුව සොයා බැලිය යුතු ම ය.

ජාතික පිරිවෙන් දින උත්සවය පැවැත්වෙන ගැටඹේ ක‍්‍රිඩාංගනය සමීපයේ බෙදාහරින්නට යෙදුණේ A4 ප‍්‍රමාණයේ අත්පත‍්‍රිකාවකි. සම්බන්ධ වූ පිරිස කිහිප දෙනෙකි. කිහිප දෙනෙක් එකතුව බෙදූ මුද්‍රිත අත්පත‍්‍රිකාවට එතරම් බිය විය යුත්තේ කරුණු දෙකක් යටතේ ය. එකක් එම අත්පත‍්‍රිකාව තුළ සදහන් අකුරුවල අරුතටය. නැතහොත් ඔවුන්ගේ කල්පනාවට අනුව එම අත්පත‍්‍රිකා වුව ද පුපුරණු ඇතැයි සැක ඇති විය යුතු ය. මේ දෙකින් තාර්කික වන්නේ ඔවුන් වඩාත් බිය වී ඇත්තේ මෙහි සදහන් අකුරු බෝම්බවලටත් වඩා පිපිරුමක් ඇති කළ හැකි බැවිනි. ඒ බව පාවඩකරුවන්ගේ වදන් තුළ ගැබ්ව තිබිණි.

”එක එක මගුල් කරල මේ උත්සවය කඩාකප්පල් කරන්න එපා යකෝ. උඹලත් පිරිවෙන්වල ඉගනගත්ත එවුන් නේද? උඹල කරන්න හදන්නේ මුලු පිරිවෙන් අධ්‍යාපනයට අගෞරවයක්”
මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගත් මිල මුදලින් වළදා සුරසැප අනුභව කරන ඒ මිනිසුන්ගේ ම බත්පතටත් කෙළවන ධනපති දේශපාලඥයන් වෙනුවෙන් පාවඩ එලූ සිවුරු දැරුවන්ගේ කතාව යි.

සැබෑ ය අප පිරිවෙන්වල ඉගෙනගත් නිසා අපට එහි ඇති ගැටඵ ප‍්‍රමාණය සහසුද්දයෙන් ම දැනෙන පිරිසකි. පිරිවෙනේ ඉගෙන ගන්නා පොඩිවුන්ගේ ජීවිත සම`ග සෙල්ලම් කරන උන්ට නොදැණුනා වුවත් පිරිවෙන තුළ ඇති අභාග්‍ය සම්පන්න ඉරණම දැක දැක ඒ අධ්‍යාපන ක‍්‍රමය තුළ ඇති ගැට`ඵ ප‍්‍රමාණය දැක දැක කටපියාගෙන සිටීමට නොදැණුනා සේ සිටීමට අපට නොහැකි විය. ජාතික පිරිවෙන් දිනය සංදර්ශණය කරගෙන තියෙනවාට වඩා යමක් පිරිවෙන වෙනුවෙන් එහි ඉගෙන ගන්නා පිරිස වෙනුවෙන් එහි ඇති ගැට`ඵ ප‍්‍රමාණය වෙනුවෙන් සංවිධානය වීමට  ඕනෑ තරම් අවස්ථාව තිබිය දී මෙ උත්සවයේ සංවිධායකයින්ට ඒ පිළිබ`ද වගේවගක් නැත. පිරිවෙන් ගරුවරුන්ට ලැබෙන සොච්චමෙනුත් රු. 1000 ක් කපාගෙන  මොවුන් උත්සවාකාරයෙන් පිළිගෙන සතුටු කරන්නට යන්නේ කවුරුන් ද යන්න පිරිවෙන් ආචාර්යවරු පවා විමසිය යුත්තකි. අප විමසූයේ පිරිවෙන්වලට අත්වීමට යන උපද්‍රවය පිළිබදව ඔබ ද ඇසිය යුතුම ප‍්‍රශ්නයකි.

වර්තමානය වනවිට පිරිවෙන් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ විශාල ගැටලූ ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇත. මෙතෙක් පත් වූ කිසිදු ආණ්ඩුවක් හරි හමන් වැඩ පිළිවෙලක් සහිතව ඒ පිළිබ`ද සොයා බලා නැත. එයට ඉතිහාසය සාක්ෂි දරනු ඇත. එතරම් ඉතිහාසයකට නොව මෑත කාලීනව පිරිවෙන් ශිෂ්‍යයාට ලබාදුන් සිවුරු රෙදි කෑල්ලත් වවුචර් මගඩියෙන් අහිමි විණි. පිරිවෙන් පොතටත් මිලක් නියම කර විකිණීමට අවශ්‍ය පසු බිම මුදලාලි මහතුන්ට සකසා ඇත. පිරිවෙන් ගුරු ගැටලූව ද පල්වෙමින් පවතී. දුෂ්කර පළාත් පිරිවෙන් වල තත්වය මීටත් වඩා අන්තය. මෙවැනි ප‍්‍රශ්න එළොකෝටියක් ඇත.

එහෙත් ඒ කිසිවක් එදා උත්සාකාරයෙන් සමරන පිරිවෙන් දිනයට අදාළ වී තිබුණේ නැත. අදාළ වී ඇත්තේ, ගැටඹේ ක‍්‍රීඩාංගනය වටා ජාතික කොඩි නොදමා බෞද්ධ කොඩි පමණක් දැමීම ය, ජනාධිපතිවරයා මංගලාරාමයට නොගොස් පල්ලියට පමණක් යෑම ය, අරලියගහ මැදුරේ ධර්ම දේශනා නොපවත්වා වෙනත් ආගමික උත්සව සැමරීම යි. පිරිවෙන් දිනයට අදාළ ව ඇත්තේ මරු ප‍්‍රශ්න ය. අකිල විරාජ්ලා ගෙන එන බවට තෙපර බාන පිරිවෙන් පනතින් රාජ්‍ය ආධ්‍යාපනයෙන් නිදහස් වී පන්සලේ දායක සභාවට පිරිවෙන පෝෂණය කරන්නට පනත් සම්මත කිරීම මේ හිමිවරුන්ට අදාළ නැත. ඔවුන් විසදා ගැනීමට බලාපොරොත්තු වන්නේ පිරිවෙන් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රශ්න නොව තමන්ගේ පටු ලාභ අපේක්ෂාවන් ය.

ඉදින් අන්තරේ අත් පත‍්‍රිකාවට මොවුන් බිය විය යුතුමය. මොවුන්ගේ ඇත්ත අදහස හෙළිදරව් කොට පිරිවෙන් දිනයේ ඇත්ත කථාව ප‍්‍රකාශ කිරීම මේ ගැත්තන්ට අනුව උත්සවය කඩාකප්පල් කිරීමකි. එබැවින් අපට තර්ජනය කළ යුතු ය, අත්අඩංගුවට ගත යුතු ය. අප හිස් රැවුල් වවාගෙන භික්‍ෂුවකට නොගැළපෙන සේ කරන මේ කටයුත්ත අතිශයින් බරපතළ වරදක් විය යුතුය. ඔවුන් හිස් රැවුල් බා කහසිවුරු දරා සිදුකරන මේ වංචාව පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට තීරණාත්මක කාර්යභාරක් යැයි ඔවුන්ගේ නිර්වචනය වුවත් ඇත්ත කුමක්දැයි තීරණය කිරීම ඔබට භාර කරමු.

පිරිවෙන් අධ්‍යාපනයේ මළගම සංකේතවත් කළ ජාතික පිරිවෙන් දින සංදර්ශනය දැක නිහඬවනවා ද  නැතහොත් ඒ වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් සිදු කරනවා ද යන්න ඔබට බාර ය.

මහගල්වැව රාහුල හිමි




Related News