බෝගල පතලේ ජයග‍්‍රහණය

Bogala-protest

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට

බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට

යන්නේ කවදාද මව් පියො දකින්නට

මහත්තයෝ මා කී දේ අහනවද

අතේ තියෙන කර ගැට පොඩි බලනවද

පොතේ තියෙන ණය ගණනත් කියනවද

ගමට යන්න පඩි තුන්ඩුව ලැබෙනවද

පැරැණි පතල්කරුවා තමන්ගේ වේදනාව කවියට නැංවූයේ එසේය. එදාට වඩා අද වෙනස්කම් බොහොමයක් තිබේ. එහෙත් කම්කරුවාගේ ජීවිතයේ යහපත් වෙනසක් සිදු වී තිබේද? යම් වෙනසක් ඇත්නම් ඒ අන් කිසිවක් නිසා නොව කම්කරුවන් විසින් කරන ලද අරගලවලින් දිනා ගත් දේ හේතුවෙන් සිදු වූ වෙනසකි.

බෝගල පතලේ කම්කරුවන් විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂණය අවසානයේ වැඩ වර්ජනයක ස්වරූපයක් දක්වා වර්ධනය විය. කම්කරුවන් 45 දෙනකු අඩි 1650ක් පොළොව අභ්‍යන්තරයේ උද්ඝෝෂණයේ යෙදී සිටියහ. ඒ මැයි 10 වැනිදා සිටයි. සෙසු කම්කරුවෝ පොළොව මතට වී වැඩ නවත්වා විරෝධතාවේ යෙදී සිටියහ.

මෙලෙස උත්සන්න වූ විරෝධතාවට ප‍්‍රතිචාර නොදක්වා සිටීමට පාලකයන්ට නොහැකි විය. 11 වැනිදා පෙව 10ට පමණ කම්කරු කොමසාරිස්වරයා බෝගල පතලට පැමිණි අතර කම්කරු නියෝජිතයන් කිහිප දෙනකු හා සමාගමේ නියෝජිතයන් කිහිප දෙනකු සමග සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ ඉල්ලීම ලබාදීමට එකඟ විය.

ඉන් පසුව පස්වරුවේ බෝගල පතල් කම්කරු අරගල සමිතියේ ලේකම් රවීන්ද්‍ර පි‍්‍රයදර්ශන, අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහ සමාගමේ නියෝජිතයන් අතර හමුවක් පැවැති අතර එම හමුවේදී ඉල්ලීම් ඉටු කරන බවට ලිඛිත ප‍්‍රකාශයක් ලැබිණි. ඒ අනුව වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටුවීය.

කම්කරුවන් 45 දෙනකු පැය 30කට ආසන්න කාලයක් පොළොව අභ්‍යන්තරයේ අරගලයේ යෙදී සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනකු රෝගී වී සිටි අතර ඔවුන් දෙදෙනා කරවනැල්ල රෝහලට රැගෙන යනු ලැබූහ.

සේවකයන්ගේ වැටුප් වැඩිවීම් ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අත්සන් කළ යුතු සාමූහික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ ජනවාරි මාසයේදීය. එහෙත් එය මැයි මාසය දක්වාම අත්සන් කර නොතබීම නිසා වැටුප් වැඩිවීමක් සිදු නොවීය. ඒ නිසා එම ගිවිසුම වහාම අත්සන් කරන ලෙසත් වැටුප රුපියල් 10,000කින් ඉහළ නංවන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් මාසික වැටුප රුපියල් 5000කින් ඉහළ නැංවීමට සමාගම එකඟ වී තිබේ.

සේවකයන්ට ලැබිය යුතු නිල ඇඳුම ලබාදීම අත්හිටුවීමට සමාගම ගෙන තිබූ තීරණයද උද්ඝෝෂණයෙන් අනතුරුව හකුළා ගැනීමට පාලකයන්ට සිදු විය. එමෙන්ම අනෙක් ඉල්ලීම වූයේ නිවාඩු සම්බන්ධයෙනි. පැරණි සේවකයන්ට වාර්ෂිකව නිවාඩු දින 42ක් තිබුණු නමුත් නව සේවකයන්ට ලබා දී තිබුණේ නිවාඩු දින 21කි. ඔවුන්ගේ නිවාඩු ගණනද දින 42ක් විය යුතු බවට සේවකයන් ඉදිරිපත් කළ සටන් පාඨයටද පාලක සමාගම එකඟ වී තිබේ. ඊට අමතරව සියලූ දෙනාටම පැය 8ක වැඩ දිනයක් නියම කිරීමේ ඉල්ලීම ජයග‍්‍රහණය කර ඇත. අලූතින් බඳවා ගත් සේවකයන් දිනකට පැය 9ක් වැඩ කළ යුතු බවට සමාගම කලින් ගත් තීරණය මේ අනුව හකුළා ගෙන තිබේ. මේ ආදී වශයෙන් තවත් ඉල්ලීම් කිහිපයක්ම උද්ඝෝෂණයෙන් දිනා ගැනීමට කම්කරුවෝ සමත් වූහ.

මෙම අරගලයේ එක් විශේෂත්වයක් වන්නේ වෘත්තීය සමිති, කම්කරු පවුල්, ප‍්‍රදේශවාසීන් මෙන්ම සෙසු සංවිධානවල සහායද අරගලයට ලැබීමයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක්ම කම්කරුවන්ගේ අරගලයට සහාය පළ කරනු ලැබූහ.

බෝගල ප‍්‍රදේශයේ පොළොව මතුපිටින් මිනිරන් සොයා ගැනීමත් සමග 1800 මැද භාගයේ පමණ එහි කැණීම් ආරම්භ විය. පසුව 1847 පමණ සිට විධිමත් ලෙස මිනිරන් කැණීම සිදු කෙරිණි. 1972 වසරේදී බෝගල පතල රජයට පවරා ගනු ලැබිණි. 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව රජයේ ආයතන පෞද්ගලික අංශයට පැවරීම සිදු වූ අතර 2000 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව සමයේදී බෝගල පතලද පෞද්ගලික අංශයට විකිණීම සිදු විය. මේ වන විට එය පාලනය කරන්නේ ජර්මන් සමාගමක් විසිනි.

Leave a Reply