පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහසමුළුව ප්‍රකාශයට පත් කෙරේ!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහසමුළුව 2017 පෙබරවාරි 1වැනිදා පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව එම පක්ෂය පවසයි.

අද දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක විසිනි. ඔහු පැවසූවේ මෙවර සමුළුව ‘අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව, සමාජවාදය උදෙසා, පන්තියට පක්ෂයක්’ යන තේමාව යටතේ පවත්වන්නට නියමිත බවයි. ප්‍රධාන ලේකම්වරයාට අමතරව මෙම ජනමාධ්‍ය හමුවට පෙ.ස.ප. නියෝජනය කරමින් පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත, විමල් පියතිස්ස සහභාගි වූහ.

 ‘මාක්ස් ලෙනින්වාදි දර්ශනය’, ‘පක්ෂය හා විප්ලවීය බහුජන ව්‍යාපාරය’ සහ ‘ලංකාවේ ජාතික ගැටලුවට ඇති නිර්ධන පාන්තික විසඳුම’ යන ක්ෂේත‍්‍ර අලලා සැකසුණු ලේඛන සමුළු අනුමැතිය සඳහා සුදානම් කර ඇත. ඉහත ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් පක්ෂයේ සමස්ත සමාජිකත්වය සමග පැවති පුළුල් න්‍යායික සංවාදයකින් පසු එම ලේඛන සමුළු සාමාජිකත්වයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ. මෙම සමුළුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාද කැන්වසින්, සම්මන්ත‍්‍රණ ජනහමු සහ සාකච්ඡා සභාවලින් සමන්විත පුළුල් ප‍්‍රචාරක වැඩපිළිවෙළක්ද ඉදිරි කාලය තුළ රට පුරා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එසේම දැනට ලොවපුරා කි‍්‍රයාත්මක වෙන සියලූම ජාත්‍යන්තරයන් නියෝජනය වන ලෙස දෙස් විදෙස් වාමාංශික පක්ෂ නියෝජිතයන් රැසක් සමුළුවට සහභාගි කර ගැනීමට කටයුතු සුදානම් කරමින් පවතින බවද එහිදී ප්‍රකාශ විය.

Save

Leave a Reply