තුර්කි යුද හමුදාවේ කණ්ඩායමක් හමුදා කුමන්ත්රණයකින් එරට පාලන බලය ඔවුන්ගේ බාරයට ගත් බව රූපවාහිනි නාලිකාවකින් නිවේදනය කර ඇත.
උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවේ තබාගෙන සිටින බව කියන හමුදා කණ්ඩායම එරට ගුවන් ගමන් ද අත්හිටුවා ඇත. තුර්කියේ, ඉස්තාන්බූල් නගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් සියලු ස්ථානවල බලය මෙසේ අත්පත් කරගත්තේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කිරීමට එම හමුදා කණ්ඩායමේ පළමු අණදෙන නිලධාරියා පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ විය. එපමණක් නොව, තුර්කියේ ජාතික බුද්ධි මූලස්ථානවලට ප්‍රහාර එල්ල කර අත්පත්කරගෙන ඇති බවත් ඇන්කාරා හා ඉස්තාන්බූල් නගරවල මාර්ග බාධක යොදා මාර්ග කිහිපයක් වසා දමා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්ඩොගන් ප්‍රකාශයක් කරමින් ජනතාව හමුදා කුමන්ත්රනය පරාජය කරන්නට වීදි බැසිය යුතු බවත් ජනතාවගේ බලය කිසිවෙකුට යට කළ නොහැකි බවත් කීය. හමුදා කුමන්ත්‍රණය මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව තුර්කියේ පවසා ඇති අගමැතිවරයා තවමත් බලය රජයේ පාලනය යටතේ පවතින බව පවසා ඇත. අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා තුර්කි රාජ්‍යෙය් තත්වය පිලිබද ප්‍රකාශයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව එරට බලයට පත්වූ රජයට ප්රජාතන්ත්රවාදය සුරැකීමට තුර්කියේ සියලු පක්ෂ සහය දිය යුතු බව පවසයි.
තුර්කියේ මේවන විට හටගෙන ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නැති බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ජනමාධ්‍ය වෙත පවසා ඇත.


