ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ ඊයේ(13) මිලාන් නගරයේදී අභාවයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මියයන විට 90 වියැති මේ ශ්‍රෙෂ්ඨ කලාකරුවා නාට්‍ය කෘති 80ක් පමණ නිර්මාණය කර තිබෙනවා.ලොවපුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති ඔහුගේ නාට්‍ය පීඩාවට පත් ජනතාවගේ විමුක්තිය උදෙසා කළ නිර්මාන බවට විවාදයක් නෑ. ඔහු කොමියුනිස්ට්වාදියකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සහ තම නිර්මාන ප්‍රසිද්ධ කරන්න පෙරාතුව ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්ගේ විචාරයට විවෘත කරන්නකු ලෙස ප්‍රකටයි. එහෙත් සෝවියට් හමුදාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීම පිළිබද ඔහු ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ බවද අමතක කල නොහැකියි.කොමියුනිස්ට් භීතිකාව නිසා එක්සත් ජනපදය ඔහුට එරටට ඇතුළුවීමට ඉඩ දුන්නේ නෑ. ප්‍රකට නළුවකු වූ ජනාධිපති රේගන්ගේ මැදිහත්වීමෙන් වරක් ඔහුට එම අවසරය ලැබුණා. ඉන්පසුව තවත් වරක් එක්සත් ජනපදයට ඔහු ගියේ අමෙරිකානු ඒකාබද්ධ නාට්‍ය නිර්මාණයක් වෙනුවෙන්.
එසේම ඔහු නිරන්තරයෙන් වතිකානුවේ දෝෂදර්ෂනයට ලක් වුණා. ඔහු වඩාත් අවධානයට යොමු වුනේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය අවස්ථාවේ කල ප්‍රකාශයක් නිසයි. ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙසේය.
“ආර්ථික තලයේදී දැවැන්ත ලාභ ගිලදමන්නෙකු ලෙස වාර්ෂිකව මිලියන ගණන් දිළිදු ජනයා මරා දමද්දී නිව්යෝක්වල විසි දහසක් මියයාම කියන්නෙ මොකක්ද? සංහාරයට වගකිවයුතු කවුද කියන එක නොසලකා කිවයුත්තේ, මේ ප්‍රචණ්ඩත්වය යනු සාගින්න, අමානුෂික සූරාකෑම සහිත ප්‍රචණ්ඩ සංස්කෘතියක නීත්‍යනුකූල දියණිය බවයි “
නාට්‍ය රචකයකු අධ්‍යක්ෂවරයකු හා රංගධරයකු ලෙස සුවිසල් කාර්යයක් ඉටු කල ඔහු විසින් කළ නාට්‍ය කිහිපයක් ලාංකීය ප්‍රේක්ෂකයන්ටද නරඹන්නට ලැබුනි. විශේෂයෙන්ම ඔහු විසින් 1970 නිෂ්පාදනය කළ Accidental Death of an Anarchist සහ 1974 කළ We Won’t Pay! We Won’t Pay! නාට්‍ය දෙකම නිෂ්පාදන කීපයක් මෙරට වේදිකාවේ ඉදිරිපත් කෙරුනා.