ජනාධිපති මෛත්‍රි කළ කතාවට උත්තර බැඳීමට සිදු වෙයි!

maithripala_sirisena

තමන් විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් වෙත කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සිදු වී ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු අල්ලස් චෝදනා මත අධිකරණය හමුවට පැමිණවීම විවේචනය කරමින් ජනාධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් මේ තත්වය උද්ගත වී ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ නොකළ යුතු බව මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ ඊයේ රාත‍්‍රී හදිසියේම ජනාධිපතිවරයා හමුවී ඇති බවත් එම හමුවට නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක සම්බන්ධ කර ගෙන ඇති බවත් වාර්තා වේ. මෙම හදිසි හමුවේ අරමුණ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය පිළිබඳව සාකච්ඡා කිරීම බවද වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් පසුව ස්වාධීන ආයතනයක ප‍්‍රධාන තනතුරක් දරන රජයේ ඉහළ නිලධාරියෙකු ඉල්ලා අස්වීමට නියමිත බවට පුවත් පළ වී ඇත. එම නිලධාරියා තමන්ගේ ඉල්ලා අස්වීම ගැන ආණ්ඩුවේ ඉදිරිපෙළ නායකයකු වෙත දැනුම් දී ඇති බවත් ඉල්ලා අස්වීමට හේතුව ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය බව අඟවා ඇති බවත් වාර්තා වේ. ඇතැම් වාර්තා සඳහන් කරන්නේ මෙලෙස ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරද ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට අභියෝග කර තිබේ. ඔහු පවසා ඇත්තේ රජයේ සේවකයකු ලෙස ලෙස තමන්ට ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ නොහැකි නමුත් FCID හි ක‍්‍රියාකාරීත්වය ගැන අසතුටු නම් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මාධ්‍ය හමුවක් පවත්වමින්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන ලෙස අගමැතිවරයාට අභියෝග කර තිබේ. ජනාධපතිවරයාගේ ප‍්‍රකාශය ඒකාබද්ද විපක්ෂයට දැල් වූ කොළ එළියක් ලෙසද ඇතැමුන් හඳුන්වන අතර කෙසේ වෙතත් මෙමගින් ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින අර්බුදකාරීත්වය අනාවරණය වී තිබේ.

 

Leave a Reply