රාජපක්ෂ පාලන සමයේ විශේෂයෙන් පසුගිය යුද සමයේ සිදුව ඇති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් එම කොමිසම ජූලි 15වැනිදා සිට අක්‍රිය වී ඇති බව ‘ලංකාවීව්ස්‘ වෙත දැනගන්නට ලැබී ඇත.
ජිනීවා මානව හිමිකම් සමුලුවේදී නැගුනු යුද අපරාධ චෝදනා හමුවේ 2013 අගෝස්තු මාසයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද පරණගම කොමිසමේ නිල කාලය පසුගිය 15 වැනිදාට අවසන්ය. ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්, යුදහමුදාපති අතුළු සන්නද්ධ හමුදාවන්ට එරෙහිව නිල හා නිල නොවන මට්ටමේ නැගී ඇති චෝදනා විභාග කිරීමට ක්‍රියාකළ යුතු බවට රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් ජිනීවා මානව හිමිකම් පිලිබද මහකොමසාරිස් කාර්යාලය විසින් සිදුකරන ලදී. ඊට ප්‍රතිචාර ලෙස සහ ‘උගත් පාඩම් හා සංහිදියා කොමිසම‘ විසින් කළ නිර්දේශ සහිතව මෙම කොමිසම පත් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද අවදානයට ලක් කර ඇති සුදු කොඩි රැගෙන භාරවූ එල්ටීටීඊ නායකයන් ඝාතනය, යුද්ධයේ අවසන් දිනවල සන්නද්ධ හමුදාවලට භාරවූ දෙමළ ජාතිකයන් හා දෙමළ සටන්කාමීන් පිළිබද නිසි තොරතුරු නොමැතිකම, උතුරේ හා නැගෙනහිර තරුණ තරුණියන් අතුරුදන් කිරීම සහ ‘චැනල් 4’ බ්‍රිතාන්‍ය රුපවාහිනියේ හෙළිදරව් ඇතුළු ප්‍රධාන පෙළේ යුද අපරාධ චෝදනා රැසක් කොමිසම හමුවේ අවදානයට ගැණුනි. මේ පිලිබද විවිධ මට්ටමේ සාක්ෂිකරුවන් විසින් පරණගම කොමිසමට කළ හෙළිදරව් කිරිම්ද ඇති බව පසුගිය කාලයේ වාර්තා විය.
එසේම රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු යුද හමුදා නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කිරීම සදහා ප්‍රමාණවත් සහයෝගයක් හෝ කාලයක් ආන්ඩුවෙන් ලබා නොදුන් බව ජනාධිපති කොමිසමෙහි සභාපති මැක්ස්වෙල් පරණගම යුරෝපයේ IBC Tamil චැනලයේ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ලංකාවේ සිදුවූ යුද අපරාධවලට ඇතැම් හමුදා නිලධාරීන් වගකිව යුත්තන් ලෙස කිහිපවර නම් කර ඇති හෙයින් කොමිසමේ සැලසුම වූයේ පැමිණිලි ලබා ගැනීම නිමා වූ පසු චෝදනා වර්ගීකරණය කිරීම සහ ඉන්පසු චුදිතයන් කැඳවීම තම සැලැස්ම වූ බව හිටපු විනිසුරු පරණගම පවසයි. කෙසේ වෙතත් අතුරුදහන්වීම් පිලිබඳව ලැබී ඇති විසිදහසකට ආසන්න පැමිණිලි විභාග කිරීමට හැකි වන පරිදි කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලද ලිපියට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව හිටපු විනිසුරු පරණගම කියා සිටියේය. පරණගම කොමිසමේ නිල කාලය හමාර වීමත් සමග, අතුරුදහන් වුවන් සොයාගැනීමට කළ යුතු විමර්ශන ගණනාවක් ද අඩාල වනු ඇති බවටද ඔහු කණස්සල්ල පළ කරයි.
මේ අතර කොමිසමේ වෙබ් අඩවිය www.pcicmp.lk අක්‍රිය වී ඇති ආකාරයක්ද වාර්තා විය.


