1987 – 89 වසරවල පැවැති අරගලයේදී දිවි පිදූවන් සමරන්නට නොවැම්බර් 13 වැනිදාට යෙදෙන ඉල් මහ සමරුව පක්ෂ තුනක් විසින් සමරන්නට නියමිතය. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල් සමරු උත්සවය මේ මස 13 වැනිදා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමරු අවස්ථා හතරක් නගර හතරකදීද පැවැත්වීමට සැලසුම් කර ඇත.
1987 – 89 අරගලය තුළ ජීවිත පරිත්‍යග කළ රෝහණ විජේවීර ඇතුළු විප්ලවාදදීන් සමරා, සමරු වැඩසටහන් රැසක් මෙවරත් රටපුරා පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සුදානම් කර තිබන බව එම පක්ෂය විසින් නිවේදනය කර ඇත.
පෙ.ස.ප. නිවේදනයට අනුව, එම පක්ෂයේ ප‍්‍රධාන විරු සමරු වැඩසටහන් නොවැම්බර් 13 සවස 3.00ට අලූත්ගම, නිට්ටඹුව, දඹුල්ල සහ බදුල්ල නගරවලදී පැවැත්වේ. මීට අමතරව නොවැම්බර් මාසය පුරා ප‍්‍රදේශීය සමරු වැඩසටහන්ද සංවිධානය කර ඇත. 88-89 අරගලය පරාජය වී 27 වසරක් ගෙවී ගොස් ඇති නිසා එළඹ ඇත්තේ 27 වෙනි ඉල්මහ විරු සමරුවයි. අරගලයේදී මියගිය විප්ලවාදීන් හුදු විරුවන් ලෙස සැමරීමේ ඔබ්බට ගොස් අරගලයේ සාධනීය ලක්ෂණ මෙන්ම නිශේධනාත්මක ලක්ෂණ දේශපාලනික වශයෙන් සාකච්ඡුා කිරීම මෙම සමරු වැඩසටහන්වල අරමුණ වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මීට අමතරව ජනතා සේවක පක්ෂයද රෝහණ විජේවීර මහතා නොවැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගත් නිසා මේ මස 12 වැනිදා ඉල් මහ සමරුව පවත්වන බව ප්‍රකාශ කරයි.