සීමා නිර්ණය කමිටු වාර්තාව බාරදීම සිතා මතා කල් දමන කමිටු සමාජිකයින් අමාත්‍යාංශ නිලධාරීන් එසේ කරන්යේ ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්බවත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ පිහිට පතන බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක සදහන් වේ.
එම නිවේදනයේ මෙසේද සටහන් වේ.
“දෙසැම්බර් 27 දින (ඊයේ) සීමා නිර්ණය කොමිසමේ වාර්තාව අමාත්‍යාංශය වෙත බාරදීමට නියමිතව තිබූ නමුත් කමිටුව විසින් අදාළ වාර්තාව බාරදීමෙන් වැලකී සිට ඇත. පරිවර්ථන කටයුතු අවසන් නොවීම එයට හේතු වශයෙන් දක්වා ඇත. සීමා නිර්ණය කමිටුව 2016 මාර්තු මස සිය වාර්තාව ලබා දෙන බව මුලින්ම ප්‍රකාශ කළේය. ඉන් පසුව අප්‍රේල් 30, අගෝස්තු 31, ඔක්තෝබර් 31 ලෙස කමිටු වාර්තාව බාරදීම දින ප්‍රකාශ විය. තම කමිටුවේ ඉල්ලීමක් පවා නොමැතිව එහි කාලය දීර්ඝ කොට ඇතැයි ප්‍රකාශ කළ එහි සභාපති අශෝක පීරිස් මහතා තමන් නොවැම්බර් 30 දින වාර්තාව බාර දෙන බව වරක් ප්‍රකාශ කළේය. එයින් දින කිහිපයට පසුව, මාධ්‍ය සාකච්ඡාවක දී අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේ දෙසැම්බර් 15 දින වාර්තාව බාරදෙන බවයි. ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා එයට ප්‍රතිචාර දැක්වුවේ, තමන්ට දෙසැම්බර් 15 වාර්තාව ලැබෙන්නේ නම් එය දෙසැම්බර් 16 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. පසුව ඒ සදහා ඊයේ ට (දෙසැ. 27) දින නියම විය.
මැතිවරණය කල් දැමීමට උත්සහ දරන දුෂ්ඨ බලවේගයන්ට සීමා නිර්ණය කමිටුව නතුව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. වාර්තාවේ පරිවර්ථන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානව සම්පත් ලබාදීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඔහුගේ නිලධාරීන් විසින් පැහැර හැර ඇත්නම් ජනතා පරමාධිපත්‍යයට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුහු සෘජුව වගකිව යුතුය. එය වෘත්තීය වගකීම් පැහැර හැරීමක් ද වේ.“