2017 අයවැය කොම්පැණිකාරයෙක් තවත් කොම්පැණිකාරයන් වෙනුවෙන් ගෙනා අය වැයක් බවත් ජනතාව වෙනුවෙන් ගෙනා අයවැයක් නොවන බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ වෘත්තීය සමිති සහ සංවිධාන රැසක සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදීය.
එක්සත් කම්කරු සම්මේලනය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ලංකා ගුරු සංගමය, වාරිමාර්ග පොදු සේවක සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, ජනරජ සෞඛ්‍ය පොදු සේවා සංගමය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති සහ සංවිධානවල නියෝජිතයෝ පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මෙසේද පැවසීය.
‘‘අපි මේ අය වැය හඳුනා ගන්නේ මේ ආණ්ඩුව මුලින්ම ගෙනා අතුරු අය වැය සහ ඊට පස්සේ ගෙනා 2016 අයවැය සමග සම්බන්ධවයි. ඒ ගමනේම දිගුවක් තමයි මේ අය වැය.
මේ අය වැය මගින් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. 2016ට පෙර රජයේ සේවයට බැඳුණු අය හිතුවොත්, මේක ඔවුන්ට අදාළ නෑ, 2016න් පස්සේ අයට විතරයි අදාළ කියලා, ඒක එහෙම වෙන්නේ නෑ. මේ මුට්ටිය දාලා බලන්නේ. මුට්ටියට ගැහුවේ නැත්තං හොරා ගෙට පනිනවා. මීට පෙර රනිල් වික්‍රමසිංහ කිව්වා 2004 වසරේ ඉඳලා විශ්‍රාම වැටුප් ගෙවීම ගැටලූවක් කියලා. ඒ නිසා මේ තීරණයට විරුද්ධව පෙළ ගැහෙන්න කියලා සියලූ රජයේ සේවකයන්ට ආරාධනා කරනවා.
සමහරු අහනවා, දායකත්ව විශ්‍රාම වැටුප හොඳ නැද්ද කියලා. මේක මේ දූපතේ විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි. යුරෝපයේ වැඩකරන ජනතාවගේ අරගල ගත්තොත් ඒ බොහෝ අරගලවලට මේ විශ්‍රාම වැටුප් ප්රශ්නය මූලික වෙලා තිබෙනවා. දායකත්ව විශ්‍රාම වැටුප මුලින්ම හඳුන්වා දුන්නේ යුරෝපා රටවල. මුලින් අවුරුදු 55 සම්පූර්ණ වුණාට පස්සේ ඒක අරගන්න පුළුවන්. නමුත් ආර්ථික අර්බුදය එද්දී, තමන්ම තැන්පත් කළ මුදලින් ලැබෙන විශ්‍රාම වැටුප ලැබෙන වයස් සීමාව අවුරුදු 58, 60, 62, 65 ආදී වශයෙන් ඉහළ දැමුවා. දැන් ඇතැම් යුරෝපා රටවල විශ්‍රාම වැටුප ගන්න අවුරුදු 67 වෙන තුරු ඉන්න ඕන. ඒ නිසා සමහර විට දැන් ප්රතිලාභ වැඩියි කියලා පෙනෙන්න පුළුවන්. නමුත් මේකෙන් වෙන්නේ දැන් රජයේ සේවකයන් භුක්ති විඳින වරප්‍රසාදයක් කප්පාදු වෙන එක.
ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් මුදලට විකිණීමට අවශ්‍ය තීරණ මේ අය වැයෙන් අරගෙන තිබෙනවා. පාසල් සිසුන්ට රුපියල් ලක්ෂ දෙකක් දක්වා රක්ෂණ ආවරණයක් ලබා දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ, පාසල් ශිෂ්‍යයෙක් රෝගී වුණාම ඔහුට නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. ඔහු පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබන්න ඕන. ඊට යන වියදම මුලින් ආණ්ඩුව ගෙවනවා. පස්සේ රක්ෂණ වාරිකේ දෙමාපියන්ට බරක් ලෙස පැටවෙනවා. අග්‍රහාර රක්ෂණයේ වාරිකය රුපියල් 120 ඉඳලා රුපියල් 600 දක්වා වැඩි කරලා තියෙනවා. මේ හදන්නේ නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න. ඊළඟට රජයේ රෝහල්වල පෞද්ගලික ගෙවන වාට්ටු ඇති කරන්න යෝජනා කරලා තිබෙනවා.
රවී කරුණානායක කිව්වා මේ අය වැය පුඩිමක් කියලා. කලින් අය වැය ගෙනාපු වෙලාවේත් ඒක කිව්වා. රවීගෙ පුඩිම අවුරුද්දක් තිස්සේ මේ රටේ ජනතාව කෑවා. දැන් ඉස්මුරුත්තාව හැදිලා ඉන්නේ. දැන් කියනවා ඒ පුඩිම තවත් අවුරුද්දක් කන්න කියලා. අපි කියනවා, පුඩිං කියලා දෙන්නේ වස. මේ වස කනවද, නැද්ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.
ඒ වගේම, මේ අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව සටන් කරන්න කියලා අපි වැඩකරන ජනතාවට ආරාධනා කරනවා.’’
ලීනස් ජයතිලක, සභාපති, එක්සත් කම්කරු සම්මේලනය
1977 ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය ගෙනාවේ විශාල සහන කප්පාදුවක් සමග. 2017 මේ අය වැයත් සමග ස්ථිරවම අතිවිශාල කප්පාදුවක සැලැස්මක් තමයි එළියට දැම්මේ. 77 එක්සත් ජාතික පක්ෂය ඒක කළේ තනි පක්ෂයක බලයකි. නමුත් දැන් 2017 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග හවුලේ කරන්නේ. මේ අය වැය ජනතාවාදී එකක් කියලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි මන්ත්‍රීවරු කියනවා අපි ඊයේ ? රූපවාහිනියෙන් දැක්කා. අපට පුදුම හිතුනා. මේ අය වැය ඉතාම දරුණු ලෙස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න සැලසුම් කළ අයවැයක්.
මේ අය මුලින් කිව්වේ සමාජ ආර්ථික වෙළෙඳපොළක් හඳුන්වා දෙනවා කියලා. නමුත් අධ්‍යාපනය, සෞඛ්‍ය පෞද්ගලිකකරණයට පිඹුරුපත් සකස් කරලා තිබෙනවා. ලංකාවේ තිබෙන ලොකුම අරමුදල තමයි සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල. රුපියල් ටි්රලියන 1.7ක මුදල් එහි තිබෙනවා. ඒකට 10.5%ක බද්දක් මීට පෙර තිබුණේ. මේ අය වැය මගින් ඒ බද්ද 14% දක්වා වැඩි කර තිබෙනවා.
මේ අය වැය වැඩකරන ජනතාවට අන්තිම හතුරු අයවැයක්. මේ අය වැය පරාජය කරන්න සමස්ත මහා වැඩවර්ජනයකට යන්න සැලසුම් කරන්න වෙනවා. ජනතාවට ඔරොත්තු නොදෙන අය වැයක්.
සුජීවා මානෙල්, ලංකා ගුරු සංගමය
ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ලෙස පෞද්ගලිකකරණයට නතු වූ අය වැයක්. දෙමාපියන් තමන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වලට යවන්නේ රජයේ පාසල්වල අධ්‍යාපනය ගුණාත්මක බවින් අඩු නිසා. ඒකට විසඳුම පෞද්ගලික පාසල් නීත්‍යනුකුළ කිරීම නොවෙයි, රජයේ පාසල්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීම.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ ශිෂ්‍යාධාර මුදල තවමත් රුපියල් 500යි. ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ උස්සවීම් ගැටලූ සහ හිඟ වැටුප් සම්බන්ධ ගැටලූ කිසිවක් තවම විසඳන්න හිතලාවත් නැහැ. නමුත් උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක දෙනවා කියලා කියනවා. මේක හරියට බබා සීසාගේ කතා වගේ.
රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරන්න ගත්ත තීරණය ඉතාම ඛේදනීයයි. සාමාන්‍ය ජනතාවගේ ඡුන්දයෙන් බලයට ආ මේ ආණ්ඩුව අය වැය හදලා තියෙන්නේ මුදලාලිලා වෙනුවෙන්.
තැන්නේ ඥානානන්ද හිමි, ඒකාබද්ද රැකියා විරහිත උපාධිධාරී සංගමය
තරුණයාට අපමණ අගයක් දුන්නු හැටි මේ අයවැයෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සාමන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් පස්සේ 2,50,000ක් විතර එනවා. ඔවුන්ගේ කුසලතා වර්ධනය කරන්න කියලා රුපියල් මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. අවුරුද්දටම එක අයකුට වෙන් වෙලා තියෙන්නේ රුපියල් 100යි.
උපාධිධාරීන්ට රැකියා දෙනවා වෙනුවට ලක්ෂ 15ක් දක්වා ණය මුදලක් දෙනවා කියලා කියනවා. වෙන් කරලා තිබෙන මුදල මිලියන 1500යි. ඒ කියන්නේ රැකියා විරහිත උපාධිධාරීන් 30,000 අතරින් දහසකට විතරයි ණය මුදල ලැබෙන්නේ. ඉතිරි 29,000ම නොසලකා හැරලා. මේක තරුණ තරුණියන් රවටන්න කළ මගඩියක්. කොල්ලකෑමක්. මේ මගඩියට විරුද්ධව අප අද සිටම වැඩ ආරම්භ කරනවා. තරුණ තරුණියන්ටත් අපි යෝජනා කරනවා, මේ මගඩියට රැවටෙන්න එපා, මීට විරුද්ධව සටන් කරන්න කියලා.
