ලෝකයේ විශාලම නත්තල් ගස ඉදිකිරීම නාස්තිකාර වියදමක් බව සදහන් කරමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ගාලු මුවදොර පිටියේ ඉදිවන මේ දැවැන්ත නත්තල් ගස ඉදිකිරීම දැන්වත් නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නොමැති අයට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් එහිදී ඉල්ලා ඇත. ‘අර්ජුන රණතුංග සමාජ සත්කාරයක්‘ ලෙසින් මේ වනවිට විශාල ප්‍රචාරයක් දෙමින් ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් කාදිනල්තුමන් මෙසේ විවිචෙනාත්මක ලෙස අදහස් දැක්වීමක් සිදුකරන ලදී. මෙම නත්තල් ගසට විශාල වියදමක් වැය කෙරෙන අතර එය ශක්තිමත් බවින් යුක්තද යන්න හා පාසල් නිවාඩුව මෙන්ම නත්තල් උත්සවය වෙනුවෙන් ගාලු මුවදොර පිටියට රැස්වන ජනතාවට අනතුරුදායක විය හැකි බවද සමහරු කියති.
උස අඩි 325කින් යුක්තව මෙම විශාල ඉදිකිරීම පසුගිය අගෝස්තු 18 වැනිදා අර්ජුන රනතුංග ඇතුඝු පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිත මෙම නත්තල් ගස දෙසැම්බර් 25ට එළඹෙන නත්තල් දා සිට ප්‍රදර්ශනය කිරීමට සූදානම් කෙරෙන බව සංවිධායකයෝ කියති. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා වරාය මුදල් වැය නොකරන බවත් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙන බවත් කියති.


