වධදීම් චෝදනා තවමත් අවසන් නැත – එක්සත් ජාතින්ගෙන් ආණ්ඩුවට නිර්දේශයක්

තවමත් අවසන් නැතිව වාර්තාවන සාපරාධී වධදීම් චෝදනා ගැන වහාම පියවර ගතයුතු බව එක්සත් ජාතින්ගේ වධබන්ධන වැලැක්වීම පිළිබද කමිටුව ආණ්ඩුවට දන්වා ඇත.

යුද සමයේ සිදුවූ බවට චෝදනා නැගෙන වධදීම් හා ලිංගික අපරාධ පිළිබද විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස හා පොලිසියට ලබාදී ඇති පුලුල් බලතල පාලනය කිරීමේ ක්‍රම හදුන්වාදෙන ලෙස ‘එක්සත් ජාතින්ගේ වධබන්ධන වැලැක්වීමේ කමිටුව‘ අලුත්ම වාර්තාවකින් අවධාරනය කරයි.

දිගින් දිගටම පැහැරගෙනයාම්, සිරමැදිරිවල මරණයට පත්වීම්, බලහත්කාරි ලෙස කටඋත්තරගැනීම හා රැදවුම්කරුවන්ට සැලකීමේ අයහපත් තත්වය පිළිබද එහිදී අවධානය යාමුකර ඇත. මෙම පසුබිම තුළ දිගින් දිගටම ආරක්ෂක අංශවල විමර්ශනයන්හිදී වධදීම සිදුකෙරෙන බව සනාථවන දේශීය හා විදේශීය වාර්තා පදනම් කරගෙන කටයුතු කිරීමට මානව අයිතිවාසිකම් පිලිබද විශේෂඥයන් 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙස ආණ්ඩුවට නිර්දේශ කර ඇත.

කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් යම් අපරාධයක් පිළිබද තොරතුරු ලබාගැනීමේ ක්‍රමය බවට පත්ව ඇති බවද එසේ අත්අඩංගුවට ගැනීම් වාර්තා නොකිරීමද පුරුද්දක්ව පවතින බව සහ අත්අඩංගුවේ සිටින සැකකරුවන් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත්කිරීමේ කාලසීමාව තුළ විවිධ බලහත්කාරී කටයුතු හා වධබන්ධන සිදුවන බව එම වාර්තාවේ නිශ්චිතව  සදහන් කරයි.

සිවිල් යුද්ධයේදී සිදුව ඇති බවට චෝදනා නැගෙන විවිධ අපරාධ අතර ‘ත්‍රි‘මලය ශිෂ්‍යයන් පස්දෙනා‘ සහ ‘සහන සේවකයන් 17ක් ඝාතනය‘ යන සිදුවීම් පිළිබද සකේතාත්මක වැදගත්කම සලකා පළමුව ඒවා සම්බන්ධ විධිමත් විමර්ශනයක් කළ යුතු බව එක්සත් ජාතින්ගේ වාර්තාව අවධාරනය කර තිබේ.

කෙසේවෙතත් මෙම වාර්තාවට ප්‍රතිචාර ලෙස ලංකාවේ බලධාරින්ගෙන් කිසිවක් ප්‍රකාශ වී නැති නමුත් වධදීම් පිළිබද කිසිදු සහනයක් නොදීම රජයේ ප්‍රතිපත්තිය ලෙස නීතිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබිණි.

Leave a Reply