රාජපක්ෂලා කොටු කර හොරකම තුරන් කළ නොහැකිය!

namal_rajapaksha

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් ලෙස ඇතැමුන් විසින් හදුන්වනු ලබයි. කෙසේවෙතත් ඔහුට විරුද්ධ චෝදනාව බරපතල එකකි. ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ඇචිලන් චතුරශ්‍රය ආසන්නයේ හිල්ටන් හෝටලය ඉදිරිපස පිහිටි ඉඩම හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 650ක ගිවිසුම් අත්සන් කිරීමේදී අතරමැදියකු ලෙස මගින් රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳ චෝදනාව ඔහුට එල්ල වී ඇත.

මේ ගණුදෙණුවට අදාළ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම ක්‍රිෂ් සමාගමට ලබාදීමේදී අදාළ වන ගිවිසුම සකස් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නාමල් රාජපක්ෂ ඇසෝසියේට් නීති සමාගම විසිනි. නීතිඥ සුජානි බෝගොල්ලාගම විසින් මෙයට සම්බන්ධ ලේඛන කටයුතු සිදු කොට ඇත. මෙහිදී කොමිස් මුදල පිළිබද හෙළිදරව් වී ඇත්තේ එවකට කොටස් වෙළෙදපොළ සභාපතිවරයා වු ආචාර්ය නාලක ගොඩහේවා විසින් නාමල් රාජපක්ෂ විසින් නාලක ගොඩහේවාට යවා ඇති කෙටි පණිවුඩයකිනි. ක්‍රිෂ් හෝටල ව්‍යාපෘතිය සදහා වන මුලික අනුමැතිය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 450ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් ක්‍රීෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙස එහි සටහන් වූ බව හෙළි විය.

ඩොලර් මිලියන 3.5 ක් වන මෙම මුදල ක්‍රිෂ් සමාගම විසින් සිංගප්පුරුවේ බැංකුවක ඇති නාමල් රාජපක්ෂට අයත් ගිණුමක තැන්පත් කළ බවට සාක්ෂි ලැබී ඇත. 2012දී අත්සන් කළ ගිවිසුමට අනුව රුපියල මිලියන 450ක් තමන්ට අය විය යුතු බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රීෂ් සමාගමට දැනුම් දුන් විට තමන් සියලු මුදල් ගෙවා ඇති බව අදාළ සමාගම පිළිතුරු එවා ඇත. මෙසේ ගෙවීම් ප්‍රශ්නය මත හෝටල් ව්‍යාපෘතිය අතරමග නවතා දමා තිබුණි. එවිට කලබලයට පත් නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400ක මුදලක් ගෙවා ඇති බවද මේවන විට හෙළිව තිබේ.

2016.07.16 Krrish towers

ගිවිසුම පරිදි ඉදිකිරීම් ඉදිරියට ගෙන යාම පමා කළ බවට කරුනු දක්වමින් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට රුපියල් මිලියන 550ක මුදලක් දඩයක් ලෙස පනවා ඇත. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ගොනු කර ඇත්තේ ජවිපෙ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසිණි.

රාජපක්ෂ පවුලම අත්අඩංගුවට ගත යුතු යැයි ඇමැති සරත් ෆොන්සේකා පවසන්නේ මෙවැනි පසුබිමකය. නමුත් තවත් අය කියන්නේ පසුගිය ආණ්ඩුවල මෙවැනි චෝදනා ලැබූ සහ කිසිදු විමර්ශනයකට හසු නොවූ කී දෙනකු පාර්ලිමේන්තුවේ සිටීද යන්නය. ඒ නිසා අප කියන්නේ එවැනි ඇත්ත කතා හෙළිදරව් වුවහොත් මෙසේ පවුල් කීයක් අත්අඩංගුවට ගත යුතුද  යන්න වෙනම සොයා බැලිය යුතු කරුණක් බවය. හොරු එකා දෙන්නා වුවද අවශ්‍ය ආකාරයේ අනුපිලිවෙලකින් කොටුකර ගන්නට හවුල් ආණ්ඩුව කටයුතු කරනවා විය යුතුය. දැන් හවුල් ආන්ඩුවේ හොරුන්ට නඩු පවරන්නේ කවදාද යන්න බොහෝ දෙනාගේ ප්‍රශ්නයකි.

එක් දෙයක් පැහැදිලිය. රාජපක්ෂ පාලනයේ හොරු අධිකරණයට ගෙන යායුතුය. වැරදිවලට දඩුවම් දිය යුතුය. එහෙත් එයින් සෑහීමකට පත් වීමට දසක ගණනක් හොරුන්ට රැවටී ඉන්න ජනතාවට හැකි නොවනු ඇත. මන්ද හොරකම ආරක්සා කරන පාලන ක්‍රමයක් තිබියදී බලය අහිමි හොරු පමණක් කොටු කර මාධ්‍ය සංදර්ශන කරමින් දේශපාලන බලයේ සිටින හොරු ආරක්ෂා නොකළ යුතු බැවිනි.