මම පැරදුනේ රතුපස්වල වෙඩි තැබීම නිසා – මහින්ද කියයි

රතුපස්වලදී ජල අයිතිය ඉල්ලා සිටි ජනතාවට වෙඩි තැබීමද තම පරාජයට හේතුවක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් පළමුවරට පිළිගෙන තිබේ.

කරන්දෙණිය කොස්වතුමානානා සුදර්ශනාරාම විහාරයේ පැවැති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ බව පිළිගත්තේය.

“එක්තරා රූපවාහිනී නාලිකාවක් හම්බන්තොට සිදුවීම පෙන්වන්නේ නැතිව තවම රතුපස්වල පෙන්වනවා. කවුද මේකට වගකියන්න ඕනෑ කියමින් ඒක පෙන්වනවා. මම ඒකට වගකියන්න ඕන නිසානේ පරාජය වුණේ“ යැයි හිටපු ජනාධිපතිවරයා සභාව අමතමින් පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ, වැලිවේරියට ආසන්න රතුපස්වල පිහිටි හේලිස් වෙනිග්‍රෝස් රබර් අත්වැසුම් කම්හල නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට විෂ එක්වන බවට නැගුණු විරෝධය හමුවේ බලධාරිහු මුනිවත රැක්කහ. එය අදිකරණය දක්වා ගියද ජනතාවගේ ගැටලුවට විසදුම් ලබා දෙතැයි විශ්වාස කල හැකි තත්වයක් දක්නට නොලැබිනි. 2013 අගෝස්තු 1 වැනිදා රතුපස්වල ජනතාව වැලිවේරිය ප්‍රදේශයේ කළ උද්ඝෝෂනයට හමුදාව වෙඩි තැබීමෙන් තිදෙනකු මරණයට පත් විය. එය රාජපක්ෂ ආණ්ඩුව මහත් දෝෂ දර්ශණයට ලක්කළ සිදුවීමක් විය.

Leave a Reply