පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි වැලිසර නාවික හමුදා කඳවුර රෝහලේ, විධායක අධ්‍යක්ෂ ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපා මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ(27) නියෝග කළාය.
ඔහුට චෝදනා එල්ල වූයේ 2009 වසරේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල හා කොටහේන යන ප්‍රදේශවල පදිංචිව සිටි වී.පී. ලෝගනාදන් හා ආර්. පරමානන්දන් යන දෙදෙනා ඔවුන් ගමන් කළ වෑන් රථය සමග පැහැරගෙන යාම හා අතුරුදන් කිරීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර නාවික හමුදා නිලධාරිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන්පසුව මහාධිකරණය විසින් නිකුත් කරන ලද ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයා ඊයේ විවෘත අධිකරණය හමුවට ඉදිරිපත්කොට තිබුණි.
රුපියල් 40,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරුව මුදාහැරීමට නියෝග කළ අධිකරණය සැකකරු ඔක්තෝබර් 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දන්වන ලදී.