සයිටම් අරගලයේ ක්‍රියාකාරින්ගේ ජීවිත අනතුරේලු – මව්පියන්ට පොලිසිය දන්වයි

සයිටම් විරෝධී අරගලයේ යෙදෙන ශිෂ්‍ය ක්‍රියාකාරින්ගේ නිවෙස්වලට පොලිසිය කඩා පැන මව්පියන්ට තර්ජනය කිරීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වේ.

අද (30) පෙරවරුවේ යක්කලමුල්ල, මොරකැටියේ පිහිටි තාරක සඳරුවන්ගේ  නිවෙසට මෙසේ පොලිස් නිලධාරින් පිරිසක් හදිසියේම කඩා පැන ඇත. රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන තාරක පිළිබද ඔවුහු මව්පියන්ගෙන් ප්‍රශ්න කර තිබේ. නිවෙසට පැමිණි පොලිස් නිලධාරින් පැය 03ක් පමණ තාරක සහෝදරයාගේ පියා නිවාස අඩස්සියට ගෙන දිගින් දිගටම තාරක පිළිබඳව ප‍්‍රශ්න කර ඇත.

පුතා ඉක්මනින් අපට භාර දෙන ලෙසත්, දේශපාලන වැඩ නතර කරන ලෙස දන්වන ලෙසත් එසේ නොකලොත් පුතාගෙ ජීවිතයට අනතුරක් විය හැකි බවත් ඒ පිළිබඳව වගකීමක් ගත නොහැකි වගත් පවසමින් ඔවුහු තාරකගේ පියාට තර්ජනය කළහ. අනතුරුව පුත්‍රයාට දුරකතන ඇමතුමක් ගන්නා ලෙස බල කර ඇති පොලිස් නිලධාරින් දුරකතනය පරීක්ෂා කිරීමට යැයි පවසමින් පියා සතුව තිබුණු ජංගම දුරකතනයද පැහැරගෙන ගොස් ඇත.

පුතා භාර නොවුණහොත් පියා අත්තඩංගුවට ගන්නා බවට එසේ යන අතර පොලිස් නිලධාරින් තර්ජනය කර ඇත. පැහැරගෙන ගිය ජංගම දුරකතනය අතරමග වෙළෙදසළක දමා ගොස් තිබියදී තාරක සහෝදරයාගේ පියා විසින් සොයාගෙන තිබේ.

මින් පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ ගිහාන් අකලංකගේ නිවෙසට ගොස් මෙවැනි ලෙසම තර්ජනය කර දේශපාලනය කිරීම නතර කරන ලෙස අවධාරණය කර ඇත. එපමණක් නොව, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩයේ වැඩබලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන, ජඳුරේ සුසීල යන හිමිවරුන්ගේ නිවෙස්වලට ද පොලිස් නිලධාරින් තර්ජනය කර ඇත. මීට අමතරව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ නිවෙස්වලට ගිය පොලිස් බුද්ධි අංශ සාමාජිකයන් විසින් නිවැසියන්ට තර්ජනය කර ඇත.

Leave a Reply