ඖෂධ සමාගම් අතර එකඟතා තුළින් ඖෂධ පනතේ අඩු පාඩු මඟ හරවනවා – ජනාධිපති

පොදු ඉල්ලීමක් වූ ඖෂධ පනතේ පවතින සියලු අඩු පාඩු මඟ හරවා ගැනීමට ඖෂධ සමාගම් අතර ඇති කරගන්නා වු එකඟතාවන් තුළින් හැකිවනු ඇති බවත් එම පනත වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරනය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ මහ රෝහලට නව සය මහල් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ උත්සවයට ඊයේ (29) සහභාගි වූ අවස්ථාවේය. ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ හඬක් පැවතිය ද එය නිසි ලෙස ජනතාවට ලබාදුන්නේ වත්මන් රජය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප‍්‍රමිතියෙන් යුත් මෙන්ම පහසු මිලට ඖෂධ ලබා ගැනීමට මේ තුළින් ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඊට අදාළ ආයතනික ව්‍යුහය සහ නීති රීති මේ වන විට සම්පාදනය කරමින් සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. කෙසේවෙතත් සම්මත කළ ඖෂධ පනත මගින් ක්‍රියාත්මක වන්නේ ඖෂධ වෙළදාමක් මිස සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය නොවන බවට වෛද්‍යවරු චෝදනා කරති. ලාභ පිනිස ඖෂධ අලෙවි කරන ඖෂධ සමාගම් සමග සාකච්ඡා කරමින් එකගතා ඇතිකරගෙන රාජ්‍ය ඖෂධ පනතක අඩුපාඩු මගහැරවිය නොහැකි බවද පවසන වෛද්‍යවරු ආණ්ඩුවට අභියෝග කරන්නේ එසේ එකගතා ඇතිකරමින් රෝගී ජනතාවට සහනයක් දියහැකිදැයි ජනාධිපතිවරයා විසින් ප්‍රායෝගිකව පෙන්වා දියයුත්තක් බවයි.