උපාධිධාරීන් 25000 කට රුකියා නෑ වහාම විසදුම් ඔ්නෑ

dammika

උපාධිධාරීන් 25,000ක් පමණ මේවන විට රැකියා විරහිතව සිටින බවත්ල ඔවුන්ට රැකියා ලබාදීම ගැන වත්මන් රජය අවධානය යොමු කළ යුතු බව, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා‍ වෙත ඊයේ ලිපියක් යවමින් කියා සිටී.

එම සංගමය යවන ලද ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ උපාධිධාරීන් 7500ට පසුගිය මැතිවරණ සමයේ රැකියා දෙන බව පැවසුවත් නැවත 5500 දෙනෙකුටත්, එම සංඛ්‍යාවද යළි වෙනස් කර අභියාචනා කළ 1200ට පමණ රැකියා දෙන බවට වරින් වර රජය විසින් පවසා ඇතැයි කියාය.

මේ තත්වය අනුව ඉහත ප්‍රකාශ පිළිගත නොහැකි බැවින් උපාධිධාරීන් සම්බන්ධ කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා කඩිනමින් සාකච්ඡාවක් දෙන්නැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
පහත පළවන්නේ ඇමැතිවරයා වෙත යවන ලද ලිපියයි.

අමාත්‍යතුමා
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
නිදහස් චතුරශ‍්‍රය
කොළඹ
2015.09.15

අමාත්‍යතුමනි,

රැකියා විරහිත උපාධිධාරී ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් ලබාගැනීම සම්බන්ධවයි

2011 මාර්තු මස 31 දිනෙන් පසු මේ දක්වා උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පොදු වැඩපිළිවෙළක් සකස් වී නොමැත. ඒ හේතුවෙන් මේ වන විට රැකියා විරහිතව උපාධිධාරීන් 25,000ක් පමණ සිටිති. පසුගිය කාලය පුරා අප විසින් මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ සිට වගකිය යුතු සියලූ බලධාරීන් දැනුවත් කළෙමු. නමුත් අප ගැටලූ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලද බැවින් සියලූ පළාත්වල උපාධිධාරීන් එක්ව විවිධ විරෝධතා කි‍්‍රයාමාර්ග ගන්නා ලදී. ඒ අතරතුර ඇතැම් පළාත්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා ලද අතර ඇතැම් ඒවාහි පවතින පුරප්පාඩු සඳහා මෙතෙක් බඳවාගෙන නොමැත. අප දන්නා පරිදි සියලූ පළාත්හි ගුරු පුරප්පාඩු විශාල ප‍්‍රමාණයක් පවතී.

ඔබතුමා දන්නා පරිදි 2004 සහ 2011 උපාධිධාරීන් පොදු වැඩපිළිවෙළක් සකසා බඳවා ගත්තද ගැටලූ ගණනාවක් මතු විය. විශේෂයෙන් 2011 බඳවාගැනීම් සියල්ල පැවති දේශපාලන අතපෙවීම් මැද සිදු වූ බව නොරහසකි. ඒ නිසා සමස්ත රාජ්‍ය අංශයම අර්බුදයට ගිය අතර බඳවාගත් උපාධිධාරීන්ද ගැටලූ රැසකට මුහුණ දෙන ලදී.

කෙසේ වෙතත් 2011 මාර්තු මාසයෙන් පසු උපාධි ලබාගත් පිරිස මේ වන විට විශාල ප‍්‍රමාණයකි. පසුගිය මැතිවරණ කාලයේ දී සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව පවසන ලදී. නමුත් මෙතෙක් ඒ සඳහා අප දන්නා පරිදි වැඩපිළිළෙක් සකස් වී නොමැත.

මේ අතර වත්මන් ආණ්ඩුව විසින් උපාධිධාරී රැකියා 7500 ක් ලබාදීම සඳහා මුදල් වෙන් කළ බව දැනුම්දෙන ලද්දේ පසුගිය මහා මැතිවරණයට පෙරය. නමුත් එකී රැකියා ප‍්‍රමාණයද ලබා නොදුන් අතර මැතිවරණ සමයේ ඔබ අමාත්‍යාංශයේ ලේකම්තුමා මාධ්‍යවෙත ප‍්‍රකාශ කර තිබුණේ රැකියා 5500 ක් ලබාදෙන බවයි. නමුත් එතුමා හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේ එම ප‍්‍රකාශය අසත්‍ය බවත් රැකියා ලබාදෙන්නේ අභියාචනා ඉදිරිපත් කර ඇති 1200 ක් පමණ වන පිරිසට බවත්ය.

මෙම ප‍්‍රකාශයත් සමග ගැටලූ කිහිපයක් මතුවී ඇත. මුදල් වෙන් කර ඇත්නම් රැකියා 7500 ලබා නොදෙනනේ මන්ද යන්නයි. එමෙන්ම එතුමා ප‍්‍රකාශ කළේ 2012 මාර්තු 31 දින දක්වා අභියාචනා ඉදිරිපත් කර ඇති පිරිසට පමණක් රැකියා ලබාදෙන බවයි. එය ද ප‍්‍රශ්නගතය. කළ යුත්තේ ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කොට අයදුම්පත් කැඳවා රැකියා ලබාදීමයි. මේ ආකාරයට උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් රැකියා විරහිතව සිටින අතර පුරප්පාඩු රැසක්ද ඇති බවට කරුණු ඇත.

මේ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා ඉක්මන් සාකච්ඡාවක් අප සංගමයට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප‍්‍රධාන ඉල්ලීම්

1. වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම
2. සියලූ උපාධිධාරීන්ට උපාධිය ලබාගත් වර්ෂය පදනම් කරගෙන, ලබාගත් උපාධිය හා හදාරා ඇති විෂයයන් අනුව රැකියා ලබාදීම.
3. දේශපාලන අතපෙවීම්වලින් තොරව විධිමත්ව සියලූ රැකියා ලබාදීම
4. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අවම වයස් සීමාව 35 යන්න සංශෝධනය කිරීම
5. රැකියා ලබාදීමේදී රැකියා විරහිත උපාධිධාරීන්ට ප‍්‍රමුඛතාවය ලබාදීම
6. පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම

ස්තූතියි.
මෙයට
කැඳවුම්කරු,
ධම්මික මුණසිංහ

පිටපත් :-
ජනාධිපතිතුමා
අගමැතිතුමා
අමාත්‍යතුමා – මුදල් අමාත්‍යාංශය
අමාත්‍යතුමා – අධ්‍යාපන අමාත්‍යාංශටය
අමාත්‍යතුමා – තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා පිළිබඳ අමාත්‍යාංශය
සියලූම මාධ්‍ය ආයතන

Leave a Reply