2011 දෙසැම්බර් 10 දින යාපනයේදී පැහැරගෙන අද දක්වාම තොරතුරක් නැතිව සිටින ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනා පිලිබඳ සාධාරණ පරීක්ෂණයක් දියත් කරන ලෙස ඉල්ලා සැප්තැම්බර් 10වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
මේ සම්බන්ධයෙන් මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ මුත් ඒ සම්බන්ධයෙන්ද අවම වශයෙන් විමසීමක් පවා සිදුකර නැති බව එහිදී අවධාරණය කෙරිණි.
අදාළ පැමිණිල්ල ලලිත් කුමාර් සහෝදරයාගේ පියා වන ආරුමුගම් වීරරාජු විසින් කරන ලද අතර මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහෝදරයා, නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් සහභාගී විය.

එහිදී මාධ්‍ය වලට අදහස් දක්වමින් දුමින්ද නාගමුව සහෝදරයා මෙසේ පැවසීය.
“පසුගිය කාලයේ ලලිත් සහ කුහන් සහෝදරවරුන් වගේම තවත් විශාල පිරිසක් පැහැරගැනීමට සහ අතුරුදහන් කිරීමට ලක්වුනා. සමහරු ඝාතනය කෙරුනා. මේ ආණ්ඩුව බලයට ආවේ ඒවා ගැන සමාජයේ තිබු හැගීම් සහ විරෝධයන් භාවිතා කරලා. පසුගිය මහමැතිවරණය අබියස කතා කලේ එක්නැලිගොඩට තජුඩීන්ට සාධාරණය ඉටු කිරීම ගැන.
ලලිත් සහ කුහන් සහෝදරවරු ගැන වගේම මේ සියල්ල ගැන පරීක්ෂණ කල යුතුයි. අපි ඒ සඳහා බල කරනවා. මේ සිදුවීම් ගැන ආණ්ඩුව හැසිරෙන විදියෙන් පසුගිය කාලයේ ප්රජාතන්ත්රවාදය ගැන කිව්වේ ඇත්තටමද, නැතිනම් ඒ කිඹුල් කඳුළුද කියලා හැම දෙනාටම බලා ගන්න පුළුවන්.”