අගමැති රනිල් වික්‍රමසිංහ හෙට නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයේදී මතභේදයට ලක්ව ඇති සීපා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට අගමැතිවරයා බලාපොරොත්තු නොවන්නේ යැයි ඇමැති මලික් සමරවික්‍රම පවසයි. අගමැතිවරයාගේ සංචාරයේදී සීපා ගිවිසුම සම්බන්ධයෙන් එකඟතා ඇති කර ගනු ඇති බවට ඇතැම් පාර්ශ්ව සැක පළ කර තිබේ. එම ගිවිසුම ලංකාවට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව බොහෝ දෙනාගේ අදහසයි. මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉහත අදහස් පළ කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.
අගමැතිවරයා හෙට දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්වේ. ඒ ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාවකට අනුවය. මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැතිවරයා, ජනාධිපතිවරයා, විදේශ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව නිරත වන පළමු විදේශ සංචාරය මෙයයි.
මෙම සංචාරයට රනිල්ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර, ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම සහ තවත් නිලධාරීන් පිරිසක් සහභාගි වෙති.

