පොතුවිල් නගරයේ සිට කිලෝමීටර 20ක් පමණ දුරින් පිහිටි පානම ප්‍රදේශයේ පිහිටි ගම්මානවල ජනයා 2010 අගෝස්තු 16 දින බියෙන් ත්‍රස්ත වූහ. වසර ගණනකට පෙර ඔවුන් බිය වූයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් කළ කඩාවැදීම් කෙරෙහිය. එහෙත් එදින තත්වය වෙනස් විය. රාජපක්ෂ ආණ්ඩුවට අයත් සන්නද්ධ මැරයන් යොදවා පහර දී, ගෙවල් ගිනිතබා විනාශ කොට ශාස්ත්රවෙල හා රජම්වෙල ගම්වාසීන්ව පලවාහැර අක්කර 1200 කට ආසන්න භූමි ප්‍රදේශයක් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී. එතැන් පටන් එම ප්‍රදේශය ජනතාවට තහනම් ප්‍රදේශයක් ලෙස නම් කොට හමුදාවේ පූර්ණ මැදිහත් වීම යටතේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.
ප්‍රදේශවාසීන් තමන්ට ඇති එකම විකල්පය ලෙස උසාවියේ පිහිට පැතූ අතර උසාවියේ නියෝගය වී ඇත්තේද මෙම ඉඩම් නැවත ජනතාවට ලබා දිය යුතු බවයි. නමුත් රාජපක්ෂ රජය උසාවි නියෝග පවා ප්‍රතික්ශේප කරමින් ජනතාවට ඉඩම් ලබා දීම වෙනුවට තම ව්‍යාපෘතිය දිගින් දිගටම සිදු කරන ලදී. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එක්සත් ජාතික පක්ෂ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල විසින් ඡන්ද කඩා ගැනීමේ උපක්‍රමයක නියැලෙමින් ප්‍රදේශයේ ජනයාට ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් ලෙස මෙම ඉඩම් නැවත ජනතාවටම ලබා දෙන බව පවසා සිටියහ.
හවුල් ආණ්ඩුව යටතේ සිදුව ඇත්තේ ජනතාව කබලෙන් ලිපට වැටීම පමණි. කොල්ල කෑ ඉඩම් යලිත් ජනතාවට ලබා දෙනවා වෙනුවට ජීවත්වීමට නුසුදුසු, වගාවන් සඳහා නුසුදුසු, වල් අලි ගහන ප්‍රදේශයක ඉඩම් ජනතාවට ලබා දී ජනතාවගේ ඉඩම් වල දයා ගමගේ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නැවත සුවිශාල හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් පවතී. ත්‍රිවිද හමුදාවේ ආරක්ෂාව සහ ශ්‍රමය යොදා ගනිමින් හොර රහසේ ඉදිවන මෙම හෝටල් සංකීර්ණය පිහිටි භූමියට සාමාන්‍ය වැසියන්ට ඇතුලුවීම තහනම් කර ඇත. මෙම තොරතුරු සොයා බැලීම සඳහා ගිය අ.වි.ශි.බ.ම. ශිෂ්‍ය කණ්ඩායමටද හමුදා නිළධාරීන් විසින් තර්ජනය කොට තිබේ. එසේම ඔවුන් විසින් ලබාගත් ඡායාරූප පවා මකා දැමීමට නියෝග කර ඇත. නැවත ප්‍රදේශවාසීන් උසාවියේ පිහිට පැතුවද වත්මන් යහපාලන ආණ්ඩුවද උසාවි නියෝගය කඩ කරමින් ඔවුන්ගේ ව්‍යාපෘතිය දිගින් දිගටම සිදු කරයි.
මේ මොහොත වන විට ප්‍රදේශවාසීන් හමුදාව සතු තම ඉඩම් වලට ඇතුලු වී කුඩා පැල්පත් සාදාගෙන ගොවිතැන් ආරම්භ කර ඇත. නමුත් දිනපතා රජයේ නිළධාරීන්ගෙන් සහ මැරයන්ගෙන් එන තර්ජන, බියවැද්දීම් වලනම් අඩුවක් නොමැත. පසුගිය ජූනි 21 වැනිදා ජනතාව විසින් උද්ඝෝෂණයක් සංවිධානය කරමින් සිය විරෝධය පළ කළද පාලක හවුල් ආණ්ඩුවෙන් සහන ලැබෙන සේයාවක්වත් නැත. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ, යහපාලනය, නීතියේ ආධිපත්‍ය වැනි වචන වෙනුවෙන් සටන් කරමින් වත්මන් හවුල් පාලනය ගොඩනැගීමට දායක වූ සියලු ප්රගතිශීලී සංවිධානවලට, සිවිල් ක්රියාකාරිකයන්ට තමන් භාවිතා කළ වචනවල ඇත්ත අරුත් ක්‍රියාකාරිත්වය තුළ සොයා ගැනීමට වත්මන් තත්වය විසින් බල කරනු ලැබ ඇත. දැන් පානම ජනතාවට සටන් කර අයිතිවාසිකම් ලබාගැනීම හැර විකල්පයක්ඉතිරිව නැත. එදා වචනවලට සටන් කළ බලවේග මෙදා ඇත්ත ජනතා අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන්නට පැමිනේද යන්න කාලය විසින් සනාථ කරනු ඇත.


