කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ නවීකරන කටයුතු සදහා 2017 ජනවාරි 06 දින සිට මාස 03 ක පමණ කාලයක් දෛනිකව පැය 08ක් වසා දමන බව ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති එකම ගුවන් පථයේ පැවැත්ම පිළිබද සහතික කළ කාලය අවසන් වීම නිසා ගුවන් යානා ගොඩ බෑමට හා නැංවීමට අවදානමක් මතුව ඇත. එය හැකි ඉක්මනින් නවීකරණය කිරීමට සිදුවීම නිසා දිනකට යම් කාලයක් වසා දමන්නට සිදුවේ.
කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථය 1986 ඉදිකළ එකක් වේ. ජාත්‍යන්තර ගුවන් සේවා නීති අනුව ආයු කාලය අවසන්ව ඇත. එම ගුවන් පථයේ ආයු කාලය වසර 20 ක් හා ගුවන් ගමන් වාර 200,000 ක් බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිගමනයයි. දිගින් මීටර් 3350ක් හා පළල මීටර් 45ක් වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් පථය අලුත්වැඩියා කිරීම ඉදිරි වසරේ ජනවාරි 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
ගුවන් තොටුපොළ සමාගම ප්‍රකාශ කරන්නේ ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්වා උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවයි. එසේම මෙහෙයුම් කටයුතු දිනකට පැය 16 කට සීමා කිරීම නිසා මගී ජනතාවට හා ජනතාවට සිදුවන අපහසුතා ගැන පූර්ව දැනුවත් කිරීම් සිදුකෙරෙනු ඇත.