ධීවර ආක්‍රමණ ගැන සාකච්ඡා අතරේ අල්ලාගත් ඉන්දිය යාත්‍රා නිදහස් කරන්නලු!

ඉන්දිය රාජ්‍ය නියෝජිත පිරිසකගේ පැමිණීමත් සමග දැනට නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා ධීවර යාත්‍රා නිදහස් කිරීමට සිදුව ඇති බව දැනගන්නට ඇත.

ඉන්දිය බහුදින යාත්‍රා හා ට්‍රෝල්ර් යාත්‍රාවලින් පැමිනෙන ධීවරයන් දහස් ගණනක් ලංකාවේ උතුර, ඊසාන, වයඹ මුහුදු කලාපවල මහා පරිමාණයෙන් හා විනාශකාරි අන්දමින් සාගර සම්පත් කොල්ලකෑමට යාන්ත්‍රික ක්‍රම අනුගමනය කරයි. මෙවැනි වරදකට හුසවන යාත්‍රා හෝ ධීවරයන් කිසිදු ලෙසකින් නිදහස් නොකර බවට ධීවර ඇමැතිවරයා මින් පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඉන්දිය රජයේ ඉල්ලීමක් අනුව ඉන්දිය යාත්‍රා සහ ධීවරයන් නිදහස් කරන්නට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (02) පැවැසීය.

දැනටමත්  ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට නාවික හමුදාවට උපදෙස් දී ඇතැයි ද ඉදිරියේදී ඔවුන් නිදහස් කරනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය. කුමන අන්දමේ සාකච්ඡා පැවැත්වුණ ද ඉන්දිය ධීවරයන් ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නැවතී නැත. බොහෝ විට මෙසේ පැමිණෙන්නේ සාමාන්‍ය ධීවරයන් නොවන අතර තමිල්නාඩුවේ හෝ යාබද ප්‍රාන්තවල මහා පරිමාණ ධීවර ව්‍යාපාරිකයන් යටතේ සේවය කරන දෛනික අස්වනු ඉලක්ක සහිත ධීවර කම්කරුවන්ය. මෙම පුද්ගලයන් හා ව්‍යාපාරිකයන්ගේ යාන්ත්‍රික යාත්‍රා අත්අඩංගුවට පත්වීම වැලැක්වීමට මැදිහත්වන ඉන්දිය බලධාරින් ඒ ධීවර කොල්ලය නැවැත්වීමට පිළිබද කිසිදු මැදිහත්වීමක් සිදුකර නැත.

ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හා සාගර සම්පත් කොල්ලකෑම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කැදවන ලද ද්විපාර්ශ්වීය සාකච්ඡා මාලාවේ දෙවන වටය ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය. මෙම සාකච්ඡාව සඳහා එරට කෘෂිකර්ම හා සුබසාධන කටයුතු අමාත්‍ය රාධා, මොහාන් සිං නායකත්වය දෙන ඉන්දීය නියෝජිත පිරිසක් සහභාගි වූහ. ධීවර ගැටලුවට අවසන් විසඳුමක් සෙවීම සඳහා මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුවය. ලංකා රජය වෙනුවෙන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, ආරක්ෂක ‍ලේකම්, කරුණාසේන හෙට්ටිආරච්චි හා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. ධීවර සම්පත් කොල්ලකෑම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී නවදිල්ලි නුවරදී දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පැවැති අතර එහිදි පිහිටුවනු ලැබූ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ දෙවැනි සාකච්ඡාව මෙය විය. එම කමිටුවේ පළමු සාකච්ඡාව දෙසැම්බර් 31 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි.

Leave a Reply