කොටුව විරෝධතා අට්ටාලය ගැලවීමට අධිකරණ නියෝගයක්!

වෛද්‍ය ශිෂ්‍ය මව්පියන් විසින් කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යන විරෝධතාවය සදහා ඉදිකළ ආවරණ අට්ටාලය ගලවන ලෙස අධිකරණ නියෝගයක් අද (29) කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින් ලබා දී ඇත.

ඊයේ (28) වෛද්‍ය ශිෂ්‍ය මව්පියන් කොළඹදී විරෝධතාවක් පවත්වා කොටුව දුම්රියපළ ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කරන ලදී. අට්ටාලය හේතුවෙන් පදික වේදිකාව අවහිර වී  මගීන්ට හිරිහැරයක් මෙන්ම  අනතුරුදායක තත්වයක් ඇති හෙයින් එය ඉවත් කරගන්නා ලෙස නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය  දෙමාපිය සංසදයේ සභාපති හේමන්ත ද සිල්වා මහතා ඇතුළු 12 දෙනකුට මෙම නියෝගය නිකුත් කෙරිණ.

විරෝධතාව ඉවත්කිරීමට අධිකර නියෝග ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය පාලකයන් විසින් උදුරාගෙන ඇති බවයි. අද දින පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම අධිකරණ නියෝගය ලබාදී ඇත. 2015 වසරේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවක් සම්බන්ධව අධිකරණයේ මතය වූයේ විරෝධය පළ කිරීමට ජනතාවට ඇති අයිතිය සලකමින් විරෝධතා අට්ටාලයක් නිශ්චිත සිමිත ඉඩක් තුළ පැවතීම මහජන අවහිරයක් නොවන බවයි. එහෙත් දැනට උත්සන්න වෙමින් ඇති සයිටම් විරෝධය හමුවේ ආණ්ඩුවට පූර්වාදර්ශ නොසළකාම අධිකරණ නියෝග අලුතින් ගන්නට සිදුව ඇත්තේ ආණ්ඩුව නිශ්චිතවම සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ පාර්ශ්වය ගෙන ඇති නිසා බව පැහැදිලිය.

දින 520ක කාලයක් වෛද්‍යපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍ය පීඨ ඉදිරිපිට විරෝධතා සත්‍යග්‍රහ පැවැත්වුවද කිසිදු බලධාරියකු  එම විරෝධය සම්බන්ධව විමසීමක් කිරීම හෝ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

Leave a Reply