19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (20) දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය හෙට (21) දින පැවැත්වීමට ඊයේ (19) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සදහා ගෙන ඒමට නියමිත සංශෝධන පිළිබදව විරෝධය පලකර තිබේ.
ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග පිළිබදවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂ විරෝධය පලකර තිබේ.
ඒ අනුව මෙම විවාදය අද දින නොපවත්වා හෙට සහ අනිද්දා දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.
අද දිනය තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ලියවිලි සම්පූර්ණ කර මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමත්, විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වා පවතින ගැටලු නිරාකරණය කරගැනීමත් සිදුවනු ඇත.
කෙසේ වෙතත් 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු න්‍යයාය පුස්ථකයට ඇතුළත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුව ඉදිරිපත් කළ ලියවිල්ල එහිදී ගැනීමට නියමිතය.