தமிழ்
English
Contact
Wednesday 27th September 2017    
ලක්ෂ 52ක් වංචා චෝදනා – ජොනීටයි පුතාටයි එරෙහිව පරීක්ෂණ « Lanka Views | Views of the truth

ලක්ෂ 52ක් වංචා චෝදනා – ජොනීටයි පුතාටයි එරෙහිව පරීක්ෂණ



හිටපු අභ්‍යන්තර වෙළද කටයුතු හා සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ කටයුතු සදහා ලංකා සතොස ආයතනයේ භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා රුපියල් 52,75,316 ක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාෂයට ඊයේ (22) නියෝග කළේය.

ලංකා සතොස ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී (තොග පාලක) ලක්මල් බොතේජු විසින් කළ පැමිණිල්ලකට අනුව අදාල විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාෂයට විසින් මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිලිදු ජනතාවට ආහාර ලබාදීමට යැයි පවසමින් ‘‘ජොස්න්ටන් ප්‍රනාන්දු පදනම“ නමින් ආරම්භ කර ඇති ආයතනයකට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඉල්ලීමකට ලංකා සතොස ආයතනයේ භාණ්ඩ නිකුත් කර ඇති බවට සතොස ප්‍රෙද්ශීය කළමණාකරුවන් විසින් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

තවද ඇතැම් ප්‍රාදේශීය කළමණාකරුවන්ට ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිය පෞද්ගලික දුරකථනයෙන් අමතා භාණ්ඩ ලබාදෙන ලෙස දන්වා ඇති බවටද තොරතුරු ලැබී ඇති බව මෙහිදී පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියේය.

අදාල භාණ්ඩවලින් කොටසක් ගෙන ගොස් ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ ව්‍යාපාරයේදී පවත්වාගෙන ගිය දන්සැල්වලට ආහාර පාන ලබාදුන් ස්ථානවලට බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය විසින් මෙහිදී දන්වා සිටියේය.

මෙලෙස ලංකා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ මොහොමඩ් ෂාකීර් නමැත්තා අත්අඩංගුවට ගත් බවත්, ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාෂය විසින් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.




Related News