මාර්තු 31 වැනිදා පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණයට පෙර සාකච්ඡාවක් සඳහා සිසුන්ට ආරාධනා කර තිබූ බවත් සිසුන් එයට නොපැමිණ සිතා මතා පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගත් බවත් පවසමින් අගමැති කාර්යාලය නිකුත් කොට ඇති නිවේදනය මුළුමනින්ම අසත්‍යයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික පවසයි.
ඔහු ජනරළ වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් අරලියගහ මන්දිරය වෙත පා ගමනින් ගියේ අගමැතිවරයාට සංදේශයක් බාරදීමට යැයි මාධ්‍ය මඟින් කරන ප‍්‍රචාරය ද පදනමක් නොමැති එකක් වන අතර තමන් පා ගමන සංවිධානය කළේ විරෝධය දැක්වීම සඳහා බවයි.
විවෘත විශ්වවිද්‍යාලයේ සත්‍යග‍්‍රහය මේ වන විට දින 105 ඉක්මවා ඇති අතර රුහුණ විශ්වවිද්‍යාලයේ සත්‍යග‍්‍රහය මාසයක්ද රජරට හා කැලණිය විශ්වවිද්‍යාලවල සත්‍යග‍්‍රහ දෙසතිය බැගින් ද අඛණ්ඩව ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් අමුතුවෙන් සංදේශ ලබාදිය යුතු නැති අතර ආණ්ඩුව ඒ පිළිබඳ ඕනෑවටත් වඩා දන්නා බවත් ඔහු පැවසීය.
සිසුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කළ ද සාකච්ඡාවට නොපැමිණ පොලිසිය සමඟ ගැටුණු බවට අගමැති කාර්යාලය කරන ප‍්‍රකාශ නජිත් ඉන්දික තරයේ ප‍්‍රතික්ෂේප කළේය.
ඔහු පැවසුවේ සියලූ උසස් පොලිස් නිලධාරීන් මාර්ග බාධකයෙන් පිටුපස සිටි බවත් කිසිවකුත් මාර්ග බාධකය ඉදිරියට පැමිණ සාකච්ඡාවක් වෙනුවෙන් කතා බහ නොකළ බවත් පොලිස් ප‍්‍රහාරයේ වීඩියෝ දර්ශන බලන විට පෙනී යන බව ඔහු පවසයි.
සිය උද්ඝෝෂණයට මාර්ග බාධක යොදා අවහිර කළ පොලිසිය ඉන් අනතුරුව ම්ලේච්ඡ ලෙස පහර දුන් බව පවසන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ශිෂ්‍ය උද්ඝෝෂණවලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළ පහරදීම්වලට එරෙහි ජනමතය මේ ආණ්ඩුව බලයට පැමිණීම සඳහා මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් ඇතුළු විවිධ ක‍්‍රම හරහා භාවිත කර බලය ලැබුණු පසු මෙලෙස ක‍්‍රියාත්මක වීම ජනතාව තේරුම් ගත යුතු බව පැවසීය.