එක ඔළුවක් වෙනුවෙන් ඔළු රෑනක් පාරට
Posted on 04.09.2015 by Sampath in විශේෂාංග with 0 Comments
පහුගිය දවසක කොළඹ ගාලූ මුවදොර පිටිය හරි අපූරු රෑනකින් පිරිල තිබුණා. ඒ ආදරය කරන්න වත් රැලි ගහන මූදේ සිරි නරඹන්නවත් පෙන ඉහිරෙන රැුල්ල පාගන්නවත්, අයිස්ක‍්‍රිම් මාමගෙන් අයිස්ක‍්‍රිම් කන්නවත් නෙමෙයි, ඒ රෑනම එකා වගේ පෙළ ගැහිල හිටියේ විරෝධය පාන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි තේරෙන බාසාවෙන් කියනව නම් ”ෆුල්ෆේස් හෙල්මට්” තහනමට එටරහිව විරෝධය පාන්න. එක එක වර්ගයේ, එක එක හැඩයේ, එක එක වර්ණයෙන් පිරිච්ච ඒ ගාලූ මුවදොර තිබුණෙ එක එක වචන නෙමෙයි. එකම වචනයි. ඒ තමයි ‘අපිට ෆුල්ෆේස් ඕනේ’ කියන එක.
ඇත්තටම මොකද්ද මේ ෆුල්ෆේස් හෙල්මට් කියන්නේ. ඔය කියන තරමේ මේකෙ තියෙන වැදගත්කම මොකද්ද? ඒ විතරක් නෙමෙයි රජය වගේම පොලිසිය ඇයි මේ ෆුල්ෆේස් හෙල්මට්ම තහනම් කරන්නේ. මේක සමාජයේ සංවාදයට බඳුන් විය යුතු කරුණක්. කොහොම වුණත් මේ ලිපිය පළ වෙන කොට නැවත වරක් ෆුල්ෆේස් තහනම කරළියට ඇවිත්. නමුත් ඒ ගැන කතාකළ යුතුයි කියල අපි හිතුවා. ඇත්තටම මොකද්ද ෆුල්ෆේස් හෙල්මට් කියන්නේ?
Crash Helmets යනුවෙන් හඳුන්වන මෙය සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණයකි. යතුරුපැදි ධාවනයේ දී භාවිතයට ගැනෙන මෙම හිස් ආවරණය සම්පූර්ණයෙන්ම හිස්කබල, මුහුණ හා නිකට ආවරණය වන පරිදි නිෂ්පාදනය කරනු ලබන අතර, මෙමඟින් හිසේ පිටුපස කොටස මෙන්ම හිසේ ඉදිරිපස කොටස වන මුහුණ හා නිකට ප‍්‍රදේශයට යම් අනතුරකින් සිදුවන හානිය අවම කිරීමට උපකාරී වන්නකි. මෙම හිස් ආවරණයේ ඇස් හා නාසය හරහා පටියක ස්වරූපයෙන් විවෘතව පවතින අතර, එය ද බොහෝ විට ඉහළ පහළ කළ හැකි ආකාරයේ විනිවිද පෙනෙන මුහුණු පලිහකින් (වයිසර්) යුක්තය. ජාත්‍යන්තර ප‍්‍රමිතීන් දක්වන ආයතන පවසන්නේ මෙම හිස් ආවරණය මඟින් හිස් කබල හා මුහුණ, නිකට ආරක්ෂානවාට අමතරව යතුරු පැදිය ධාවකයාගේ ධාවනයට බාධාකාරී වන අධික තාපය, අධික හිරු එළිය, අධික සුළං ධාරාව, දුවිලි, අහිතකර වායූන්ගෙන් ආරක්ෂා කිරීම ද අමතර පහසුකමක් ලෙස දක්වා ඇත.
යතුරු පැදි ධාවනයේ දී අනතුරුවලට භාජනය වීමේ අවධානම අනෙක් වාහනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නකි. හේතුව නම් යතුරුපැදිවල රෝද දෙකක් පමණක් ඇති අතර, ධාවනය කළ යුත්තේ ධාවකයා විසින් යතුරුපැදිය සමබර කර ගැනීමෙන් පමණක් වන නිසාය. එබැවින් සාමාන්‍ය මාර්ග ධාවනයේ දී ශ‍්‍රී ලංකාවේ යතුරුපැදියට පමණක් හිස් ආවරණයක් පැලඳීම අනිවාර්ය වන අතර, හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීම ද`ඩුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව ලංකාවේ සියලූම යතුරුපැදි ධාවකයන් (අසාමාන්‍ය ධාවකයන් හැරුණු කොට* ධාවනයේ දී හිස් ආවරණයක් පලඳින අතර, සම්පූර්ණ ආවරණ හිස් වැස්මක් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් පැලඳීම ද මේ වන විට ලංකාවේ බහුලව දක්නට ලැබෙන්නකි.
මෙහිදී සාමාන්‍ය හිස් ආවරණයකට වඩා වැඩි ආරක්ෂාවක් ෆුල්ෆේස් හෙල්මට් මඟින් ධාවකයාට ලබා දෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා පවසන්නේ සාමාන්‍ය හිස් ආවරණයකට වඩා සම්පූර්ණ හිස් ආවරණයක් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් මඟින් ධාවකයාගේ හිසේ 35%ක ප‍්‍රදේශයක් ආරක්ෂා වන බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය දා මාධය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ද පැවසුවේ සාමාන්‍ය හිස් ආවරණයකින් හිස් කබල ආරක්ෂා වන නමුත් මුහුණ හා නිකට ප‍්‍රදේශය ආරක්ෂා නොවන අතර, ෆුල්ෆේස් හෙල්මට් එකක් මඟින් හිස්කබලට අමතරව මුහුණ හා නිකට ප‍්‍රදේශය ද ආරක්ෂා කරගත හැකි බවයි.
කෙසේ වෙතත් මේ වන විට ශ‍්‍රී ලංකාවේ ෆුල්ෆේස් හෙල්මට් සම්බන්ධයෙන් නීතිමය කතිකාවතක් නිර්මාණය වී ඇති අතර, ආරක්ෂක අංශය මඟින් පවසන්නේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් විසින් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන බැවින් එය තහනම් කිරීමට රජය විසින් පියවර ගන්නා බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ මෙය මේ මොහොතේ නිර්මාණය කරන ලද නීතියක් නොවන අතර 1991 දී ක‍්‍රියාවට නංවන ලද නීතියක් බවයි. 1991 දී මෙළෙස සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි යතුරුපැදි ධාවකයන්ට හිස්වැසුම් පැලඳීම නීතියෙන් තහනම් වූ අතර, කල් යාමේදී එම නීතිය පොතේ පමණක් ඇති නීතියක් බවට පත් විය. ඒ අනුව බොහෝ යතුරුපැදි ධාවකයන් මේ වන විටත් ෆුල්ෆේස් හෙල්මට් භාවිතයට ගැනීමට පුරුදු වී ඇති අතර, නීතිය ක‍්‍රියාත්මන නොවන තත්වයක පවතී. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව මඟින් මෙම නීතිය ක‍්‍රියාවට නැංවීමට උත්සාහ දරන ලද නමුත් ෆුල්ෆේස් හෙල්මට් පලඳින්නවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එය හකුළා ගන්නට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය. ඒ අතර වර්තමාන ආණ්ඩුව ද පසුගිය මාර්තු මාසයේ දී නැවත වරක් මෙම නීතිය ක‍්‍රියාවට නැංවීමට කටයුතු කළ අතර, මාර්තු 29 වැනිදා යතුරුපැදි ධාවකයන් විශාල පිරිසක් විසින් ගාලූ මුවදොර පිටියට රැුස්ව ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව සිය විරෝධය දැක්වූ බැවින් එය ද දින නියමයක් නොමැතිව කල් දැමිණි.
නමුත් පසුගිය දා මාධ්‍ය වාර්තා කරන ලද්දේ අපේ‍්‍රල් 02 දා සිට නැවත වරක් ෆුල්ෆේස් හෙල්මට් තහනම ක‍්‍රියාත්මක වන බවයි. මෙම තහනම ක‍්‍රියාත්මක කිරීමට අදාළව පොලිසිය පවසන්නේ ශ‍්‍රී ලංකාවේ සිදුවන අපරාධවලදී යතුරුපැදි භාවිතයට ගැනෙන බවත් එහිදී අදාළ පුද්ගලයන් විසින් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන බැවින් ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වන බැවින් රටේ අපරාධ අවම කිරීමේ පියවරක් ලෙස ෆුල්ෆේස් හෙල්මට් තහනම ක‍්‍රියාත්මක කරන බවයි.
බැලූ බැල්මටත් ගැඹුරින් බැලූ කලත් මෙය අමන, තකතීරු අදහසක් බව පැහැදිලිය. පසුගිය දා යතුරුපැදි ධාවකයන්ගේ විරෝධතාවයේ දී මහජන සාමය පිළිබඳ අමැති ජෝන් අමතුංග හමුවී අදාළ නීතිය ක‍්‍රියාත්මක කිරීමට විරෝධය දක්වමින් අදහස් දැක්වූ අවස්ථාවේ දී ජෝන් අමරතුංග ද දැක්වූ අදහස් මඟින් මෙය අමන තකතීරු අදහසක් බව තහවුරු කෙරිණි. මේ අවස්තාවේ දී ඇමැති ජෝන් අමරතුංග පැවසුවේ එසේ නම් ලංකාවේ යතුරුපැදි ද තහනම් කළ යුතු බවයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී ජෝන් අමරතුංග අදාළ ක‍්‍රියාව ආරක්ෂක අමාත්‍යාංශයට බැර කර අත පිසදා ගන්නා ආකාරය දක්නට ලැබුණි.
ආරක්ෂක අමාත්‍යාංශය වේවා, ශ‍්‍රී ලංකා පොලිසිය වේවා මෙම නීතිය පිළිබඳව නැවත වරක් සලකා බැලිය යුතුව තිබේ. පසුගිය දා ලංකාවේ එක්තරා ජාතික පුවත්පතක පළ කර තිබුණේ ජනතා ආරක්ෂාව පොලිසිය වෙත පරෙන අතර, ජනතාවගේ ආරක්ෂාව හා ඔවුන්ගේ බඩු බාහිරාදියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ බැහැර කළ නොහැකි බවයි. නමුත් මෙහිදී අප විසින් සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් ඇත. එනම් පොලිසියේ හෝ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවල නොහැකියාවට වෙනත් පාර්ශ්වයන් අදාළ කර ගත හැකිද යන කාරණයයි.
ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින හා නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසියේ ක‍්‍රියාකාරකම් පිළිබඳව ඇත්තේ සතුටුදායක අදහසක් නොවේ. විශේෂයෙන්ම රථ වාහන සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රථ වාහන පොලිසියේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ඇත්තේ සතුටුදායක චිත‍්‍රයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ රථ වාහන පොලිසිය හා බැඳුණු තවත් නාමයක් වන්නේ ‘පගාව’ බව ලොකු කුඩා කවුරුත් පවසන කරුණකි. රටේ බලපුළුවන්කාරයන් අභිමුව දෙකට තුනට නැමෙන ශ‍්‍රී ලංකා රථ වාහන පොලිසිය සාමාන්‍ය අහිංසක යතුරුපැදි කරුවන් හා ත‍්‍රිරෝද රථකරුවන් අභිමුව සිංහයන් සේ කටයුතු කරන ආකාරය සියලූ දෙනා දන්නා ප‍්‍රසිද්ධ රහසකි.
ලංකාවේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් රියැදුරන් වෙත නිකුත් කර ඇති දඩ කොළ පිළිබඳව යම් සමීක්ෂණයක් කළ හොත් එහි ප‍්‍රතිශතාත්මක අගය යතුරුපැදි ධාවකයන්, ත‍්‍රිරෝද රථ ධාවකයන් හා බස් රථ රියැදුරන් සම්බන්ධයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වේ. ඉඳහිට හෝ බලපුළුවන්කාරයකුට දඩ කොළයක් දිගු කළ පොලිස් නිලධාරියකු වේ නම් ඒ ඔහු අදාළ පොලිස් ස්ථානයේ සේවය කරනා අවසන් දිනය වේ. පසුගිය රජයේ දී ගාල්ල අධිවේගයේ වේග සීමා උල්ලංඝනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ නිල රථයට දඩ කොළයක් ලබා දුන් පොලිස් නිලධාරියාගේ පෞද්ගලික රථය ගිනි දෙවියාට බිලි වුයේ මේ අනුහසිනි. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වය එයයි. තත්වය එසේ තිබියදී සාමාන්‍ය ජනයාගේ ප‍්‍රවාහන මාධ්‍යයක් වන යතුරුපැදි සම්බන්ධයෙන් නීතිය දක්වන මේ අවභාවිතාව නැවත නැවතත් සාකච්ඡුාවට බඳුන් කළ යුතු කරුණකි.
පසුගිය දා ගාලූ මුවදොර පිටියේ දී විරෝධය දැක්වු තරුණයෝ මෙම කරුණු මුල් කොට සිය විරෝධය ඉදිරිපත් කළෝය. එහිදී ඔවුන් පැවසුවේ ‘රෝද දෙකේ අපිට සීට් බෙල්ට් නෑ… එයාර් බෑග් නෑ…’ යනුවෙනි. එමෙන්ම ‘මේ වෑයම රජ වීමට නොමව ඔළුව බේරා ගැනීමටයි’, ‘ෆුල්ෆේස් නැති වුණාම හොරකම් නවතීද?’, ආදී විවිධ වදන් ඔවුන්ගේ විරෝධය පුරා දක්නට ලැබුණකි. මොවුන් පවසන කරුණු බැහැර කළ හැකි කරුණු නොවේ. ඔවුන් එහිදී දක්වන තර්කය යතුරුපැදිකරුවන්ගේ පාර්ශ්වයෙන් අතිශය සාධාරණය.
ශ‍්‍රී ලංකා රථ වාහන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න සමඟ කළ දුරකතන සංවාදයක් පටිගත කොට සමාජ වෙබ් අඩවියක පළ කර තිබුණි. එහිදී නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න පැවසුවේ මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමට අදාළ නියෝගය වෙනුවෙන් මැදිහත් වූයේ තමන් බවයි. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තර්ක රැුසක් ඉදිරිපත් කළේය. එහිදී ඔහු පැවසුවේ ෆුල්ෆේස් හෙල්මට් භාවිතයෙන් යතුරුපැදිය ධාවකයාට මීටරේ නොපෙනෙන බවත් මාර්ගයේ ගමන් ගන්නා අනෙක් වාහනවලින් නිතුක් කරන නළා ශබ්දය නොඇසෙන බවත් ගියරය හෝ බ්‍රේක් පැඩලය නොපෙනෙන බවත්ය. ඔහුගේ පාර්ශ්වයෙන් ඔහු ඉදිරිපත් කරන තර්කය සාධාරණය. නමුත් මෙම තර්කය යතුරුපැදිවලට පමණක් නොව අනෙකුත් වාහනවලට ද අදාළය. වීදුරු සියල්ල වසා ගත් වායුසමනය කළ වාහන රියැදුරුට ද අනෙක් වාහනවල නළා ශබ්දය ඇසීමේ සම්භාවිතාව ඉතා අඩුය. එමෙන්ම ඔවුන්ට ද බ්‍රේක් පැඩලය පමණක් නොව, ක්ලච් පැඩලය හා ඇස්ලේටරය ද නොපෙනේ. රියැදුරන් රථය ධාවනය කරන්නේ ඇස්ලේටරය හෝ බ්‍රේක් පැඩලය දෙස බලමින් නොවේ.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන අනෙක් තර්කය නම් මුහුණට හා නිකටට අනතුරු සිදු වන්නේ අපරික්ෂාකාරී ධාවනයෙන් පමණක් බවත් එබැවින් සාමාන්‍ය ධාවනයේ දී ෆුල්ෆේස් හෙල්මට් අනවශ්‍ය බවයි. සාමාන්‍යයෙන් කිසිදු රියැදුරෙක් කිසිදු රථයක් අනතුරට ලක් කරගැනීමේ චේතනාවෙන් රථ ධාවනය කරනා බවක් අප කිසිදිනෙක අසා නැත. අනතුරක් යනු සිදුවිය හැක්කකි. එය සිදුවීම හෝ නොවීම කලින් සැලැසුම් කළ හැකි දෙයක් නොවේ. සැලසුම් කොට සිදුකරන අනතුරද නැත්තේ නොවේ. එබැවින් ඒ වෙනුවෙන් අදාළ උපක‍්‍රම ධාවනයේ දී භාවිත කිරීම සම්මතයකි. වාහනයට රක්ෂණ ආවරණයක් ලබාගැනීම, වාහනයේ නිසි නඩත්තුව, යතුරුපැදි ධාවනයේ දී හිස් ආවරණ පැලඳම යන සියල්ල ඉහත කරුණට අදාළ වන්නකි. එබැවින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තර්කයේ කිසිදු පදනමක් නැත.
කෙසේ වෙතත් මේ වන විට (මෙම ලිපිය පළවන විට) ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක‍්‍රියාත්මක වී තිබෙන්නට පුළුවන. පසුගිය දා මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා තරුණයන් පෙළ ගැසුනේ අතිශය සරල ක‍්‍රමයකිනි. එනම් සමාජ වෙබ් අඩවි මඟින් දැනුම්වත් කර සංවිධානය කිරීම මගිනි. මේ වෙනුවෙන් මුහුණු පොතේ පමණක් නිර්මාණය වූ පිටු ගණන බොහෝය. ඒ වටා පෙළගැසුණු සංඛ්‍යාව අතිමහත්ය. එසේ පෙළගැසුණවුන් අතරින් ගාලූමුවදොර පිටියට එක් රැස්වුණේ කොටසක් පමණි. ඒ කොටස ද සංඛ්‍යාත්මකව අතිමහත්ය. විරෝධතාවයේ සමාජ පණිවුඩය ප‍්‍රබලය.
මේ සියලූ කරුණු පෙළගස්වමින් අප තහවුරු කිරීමට යත්න දරන්නේ සමාජ වෙබ් අඩවිවල විරෝධය හෝ තරුණ ගැටවුන්ගේ විරෝධයට නීතිය හෑල්ලූ කළ යුතුය යන්න නොවේ. නීතිය කාටත් පොදු විය යුතුය. එසේම එය සියලූදෙනාට සාධාරණ විය යුතුය. පොලිසියේ හෝ ආරක්ෂක අංශවල නොහැකියාව යතුරුපැදි ධාවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සීමාව නොඉක්මවිය යුතු බවය. රටේ නීතිය අරක්ෂා විය යුතුය. ජනතාවගේ ජීවිතයට හා සොර සතුරන්ගෙන් දේපවලට එල්ලවන තරජනයන්ගෙන් බේරීමේ අයිතිය ආරක්ෂා විය යුතුය. එසේම මේ රටේ දහස් ගණනක් වු යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව ඒ වෙනුවෙන් බිලිදිය හැකිය. යන්න ඒ හා සමානව විමසිය යුතුය. සිය හිස මෙන්ම මුහුණ ආරක්ෂා කර ගැනීමට යතුරුපැදි ධාවකයන්ගේ අයිතිය පිළිබඳව ද විමසිය යුතුය. එකී අයිතීන්ට එරෙහිව ශ‍්‍රී ලංකාවේ පොලිසියට හෝ දේශපාලඥකයන්ට තමන්ගේ පටු උවමනාවන් වෙනුවෙන් නීතිය අර්ථ ගැන්විය නොහැකි බව ද තහවුරු විය යුතුය.
අවන්ත ඉඩමේගම
Related News