පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධය ආරම්භකර අද (13) දිනට වසරක් සම්පූර්ණ වේ.
මෙම අවස්ථාව වෙනුවෙන් අද දින වමේ දේශපාලන ධාරාවේ පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන හා කලාකරුවන් ඇතුළු නියෝජිතයන් පිරිසක් එම විරෝධතා අට්ටාලය වෙත පැමිණ වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ, එක්සත් වෘත්තිය සමිති සම්මේලනය වෙනුවෙන් ලීනස් ජයතිලක, ලංකාගුරු සංගමය වෙනුවෙන් ජෝශප් ස්ටාලින්, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි, ප්‍රැක්සිස් සාමුහිකය වෙනුවෙන් විදර්ශන කන්නංගර, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් දිනුක රාජපක්ෂ ඇතුළු කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරින් පිරිසක් එහිදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූහ.ඔවුහු කුමාර් ගුණරත්නම් නිදහස් කිරීම පිළිබද ප්‍රශ්නයේදී ආණ්ඩුව කටයුතු කරන කුමන්ත්‍රණකාරී ආකාරය සම්බන්ධව විරෝධය හා පිළිකුළ පළ කළහ.


