වැඩ කරන ජනතාවගේ පීඩාවට එරෙහි සම්මන්ත‍්‍රණයක්

2016-10-25-seminar-ymca-colombo

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාව සිය ගැටලුවලට විසඳුම් දිනා ගැනීම සඳහා සංවිධානය කිරීමේ අරමුණෙන් වෘත්තීය සමිති ගණනාවක් එක්ව සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට තීරණය කර තිබේ. එම සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් මස 25 වැනිදා ප.ව. 4.00ට කොළඹ කොටුව වයි.එම්.සී.ඒ. ශාලාවේදී පැවැත්වේ.මෙම අවස්ථාවේ අදහස් දැක්වීමට  පහත කථිකයන් සම්බන්ධ වේ.

ලීනස් ජයතිලක – එක්සත් කම්කරු සම්මේලනය

ජෝසප් ස්ටාලින් – ලංකා ගුරු සංගමය

දුමින්ද නාගමුව – කම්කරු අරගල මධ්‍යස්ථානය

මේ මොහොත වන විට වැඩකරන ජනතාව මුහුණ දෙන බරපතළ අභියෝග අතර බදු වැඩි කිරීමත් සමග ඉහළ යන ජීවන වියදම දරා ගැනීමට ලැබෙන වැටුප ප‍්‍රමාණවත් නොවීම ප්‍රධාන වේ.  එම බරපතළ ගැටලූවට වැඩකරන ජනතාව ඇතුළු සමස්ත රටවැසියා අද මුහුණ දී සිටී. එසේම රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා සේවකයන්ට විශ‍්‍රාම වැටුපට තිබූ හිමිකම අහිමි කරන බව පසුගිය අයවැයේදී රජය ප‍්‍රකාශ කළේය. එමෙන්ම වරාය, විදුලිය, ඉන්ධන ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමේ සැලසුම් දියත් වෙමින් තිබේ. මෑන්පවර්, අනියම්, ආදේශක, ආවරණ සහ කොන්ත‍්‍රාත් ආදී නාමකරණයන් යටතේ දැවැන්ත ශ‍්‍රම කොල්ලයක් සිදු වෙමින් පවතින අතර එම නාමකරණයන් යටතේ සේවය කරන කම්කරුවන්ට ශ‍්‍රමයට සරිලන වැටුපක් ලැබෙන්නේ නැත. මේ තත්වය පෞද්ගලික අංශයේ පමණක් නොව රාජ්‍ය අංශයේද කම්කරුවන් මුහුණ දෙන බරපතළ ගැටලු බවට පත්ව තිබේ.

පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවන අංක දීමනාව ලබා නොදීම ගැටලුවක් ලෙස පවතී. එමෙන්ම අයවැයෙන් දෙන ලද රුපියල් 2500 වැටුප් වර්ධකය බොහෝ පෞද්ගලික ආයතනවල ලබා දී නැත. එපමණක් නොව, එම වැටුප් වර්ධකය ලබාදීමට නම් අමතර කාලයක් වැඩ කළ යුතු බවට ඇතැම් ආයතනවල පාලකයන් බලපෑම් කර තිබේ.

වතුකම්කරුවන් දිනක වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩුව හා හාම්පුතුන් හා ඇතැම් වෘත්තීය සමිති කටයුතු කර ඇත්තේ රුපියල් 50කින් දෛනික වැටුප වැඩි කර ඔවුන් මුලා කිරීමටය.

එපමණක් නොව කම්කරුවන්ගේ අයිතිවාසිකම් යම් ප‍්‍රමාණයකින් හෝ ආරක්ෂා කර තිබූ නීති ගණනාවක් වෙනස් කිරීමේ උත්සාහයක් දියත් වෙමින් තිබේ. එට්කා වැනි ගිවිසුම් මගින් ශ‍්‍රමයේ මිල පහත හෙළීමට කටයුතු කරමින් තිබේ. මේ ආකාරයට වැඩ කරන ජනතාවගේ ජීවිත  සුරක්ෂිතතාව අවදානමේ හෙළීමට පාලකයන් කටයුතු කරමින් සිටී.

  • රාජ්‍ය ආයතන විකිණීම නවතනු!

  • විශ‍්‍රාම වැටුපට අත නොතබනු!

  • ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්. කොල්ලකෑමට එරෙහි වෙමු!

  • ජීවන අංක දීමනාව වහා ලබා දෙනු!

  • මෑන්පවර්, අනියම්, ආදේශක, කොන්ත‍්‍රාත්, ආවරණ සේවකයන් ස්ථිර කරනු!

  • වතුකම්කරුවන්ට ඉඩමක්, නිවසක්, මාසික වැටුපක්, දිනකට රුපියල් 1000ක් ලබා දෙනු!

 යන යටන් පාඨ මූලික කර ගනිමින් මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වේ.

Leave a Reply