කහටගහ පතලේ කම්කරුවන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඔවුන්ගේ ඉල්ලීම් වහා ඉටු කරනු – කම්කරු අරගල මධ්‍යස්ථානය

Protest

කහටගහ පතලේ කම්කරුවන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන්නැයි කම්කරු අරගල මධ්‍යස්ථානය රජයට බල කරයි. නිවේදනයක් නිකුත් කරන කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව වැඩිදුරටත් සඳහන් කරන්නේ කම්කරුවන් සිය ජීවිත පවා අවදානමේ හෙළමින් කරන සාධාරණ ඉල්ලීම හමුවේ තවදුරටත් සිය ජනතා ද්‍රෝහී ප්‍රතිපත්තියේම එල්බගෙන සිටීම සම්බන්ධයෙන් රජයට සිය විරෝධය හා අප්‍රසාදය පළ කරන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

කහටගහ පතල  ඕස්ටේ‍්‍රලියානු සමාගමකට විකුණා දැමීමට එරෙහිව එහි සේවකයන් වෘත්තීය ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇත. දින කිහිපයක සිට වැඩවර්ජනයක නිරත වූ ඔවුන් ආණ්ඩුවෙන් යහපත් පිළිතුරක් නොලැබුණු බැවින් ඊයේ (25) උදේ සිට පොළොව මට්ටමෙන් අඩි 1032ක් ගැඹුරු පතුලේ සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. ඊට කම්කරුවෝ 105 දෙනකු සහභාගි වී සිටිති. මෙම අඛණ්ඩ උපවාසය හමුවේද බලධාරීන් නෑසූ කන් ඇතිව සිටින්නේ නම් මාරාන්ති උපවාසයක් කරා ගමන් කිරීමට සිදු වන බවට ඔවුහු අනතුරු අඟවති. එය ඉතා බරපතළ තත්වයකි. කහටගහ පතලේ සේවකයන් ආරම්භ කර තිබෙන අරගලයට පූර්ණ සහාය පළ කරන කම්කරු අරගල මධ්‍යස්ථානය ඔවුන් ඉල්ලා සිටින පරිදි කහටගහ පතල විකිණීමේ වැඩපිළිවෙළ හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියි. කම්කරුවන් තමන්ගේ ජීවිත පවා අවදානමේ හෙළමින් සිදු කරන අරගලය හමුවේ මුණිවත රකිමින් තවදුරටත් සිය ද්‍රෝහී ප‍්‍රතිපත්තියේම එල්බගෙන සිටීම සම්බන්ධයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය රජය වෙත සිය විරෝධය සහ අප‍්‍රසාදය පළ කර සිටියි.

කහකටගහ පතලේ කම්කරුවන් ප‍්‍රකාශ කරන්නේ පතල පෞද්ගලිකකරණය කළහොත් විශාල පිරිසකට රැුකියා අහිමි වන බවත් ඉතිරි වන කම්කරුවන්ට ඉතාම අසතුටුදායක තත්වයන් යටතේ වහළුන් සේ වැඩ කිරීමට සිදු වන බවත්ය. විකුණා දමන ලද බෝගල පතලේ වත්මන් තත්වය කහටගහ පතලේ කම්කරුවන් ඉදිරිපත් කරන තර්කය සනාථ කරන සාක්ෂියකි.

ආණ්ඩුව කහටගහ පතල විකුණා දැමීමට හේතුව ලෙස ප‍්‍රකාශ කර තිබෙන්නේ එය පාඩු ලබන ආයතනයක් බවයි. එහෙත් එය පිළිගත හැක්කක් නොවේ. ලෝකයේ මිනිරන්වලට විශාල ඉල්ලූමක් පවතින අතර සේවකයන් පවසන අන්දමට කහටගහ පතල පසුගිය අවුරුද්දේ රුපියල් මිලියන 10ක ලාභයක් ලබා තිබේ. පතල පාඩු ලබන්නේ නම් ඊට හේතුව ආණ්ඩුව ඊට නිසි මැදිහත්වීමක් නොකර පාඩු ලැබීමට සලස්වා තිබීමයි. එහෙත් ආණ්ඩුවේ පිළිවෙත වී තිබෙන්නේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුවත් තමන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබමින් සිටින නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියේ අවශ්‍යතාවට අනුවත් සියලූ රාජ්‍යය ව්‍යවසායන් පෞද්ගලික අංශයට විකුණා දැමීමයි. ආණ්ඩුව විකිණීමට අවශ්‍ය රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ කොහොම වුණත් මං තෝ කනවායැයි කියූ නරියාගේ ප‍්‍රතිපත්තියයි. මෙම ප‍්‍රතිපත්තියේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන හිමියන් වෙත තව තවත් ලාභ ගොඩගැසීමත් කම්කරු පවුල් තව තවත් දුක්ඛිත තත්වයට ඇද වැටීමත්ය. පෞද්ගලිකකරණයේ නාමයෙන් ඉතිහාසය පුරා සිදු කර ඇත්තේ එයයි.

මෙම අරගලය කහටගහ පතලේ කම්කරුවන්ට පමණක් අදාළ ප‍්‍රශ්නයක් නොවේ. සෙසු සියලූම රාජ්‍ය ව්‍යවසායන්ද පෞද්ගලිකකරණය කිරීමේ තර්ජනයට මුහුණ පා තිබේ. එපමණක් නොව මෙම ප‍්‍රතිපත්තිය නිසා රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව සියලූම වැඩකරන ජනතාවගේ ජීවිත තව තවත් අගාධයට ඇද වැටීමට නියමිතය. වැටුප් කප්පාදු කිරීම, රැකියා සුරක්ෂිතභාවය නැති කිරීම, සුබසාධන කප්පාදු කිරීම සහ බරපතළ ලෙස සූරාකෑම තීව‍්‍ර කිරීම මෙම ප‍්‍රතිපත්තිය සමඟ බැඳී පවතී. ඒ නිසා සියලූ වෘත්තීය සමිති සහ සියලූම වැඩකරන ජනතාව පෞද්ගලිකකරණ විරෝධී සටන් පාඨය යටතේ කහටගහ පතලේ කම්කරුවන් වෙත සිය සහාය පළ කළ යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

Leave a Reply