ලෝකයෙන්ම දුර්ලභ මත්ස්‍ය විශේෂ දෙකක් වසන එකම ජෛව පරිසරය වන අත්වැල්තොට දිය ඇල්ල ආශ්‍රිතව විදුලි බලාගාරයක් ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර දී ඇත.
මෙවැනි තීරණයක් මගින් මොරපිටිය – අත්වැල්තොට දිය ඇල්ල ආශ‍්‍රිත අතිශය දුර්ලභ පරිසර පද්ධතිය විනාශකිරීමට අනුබල දීම සම්බන්ධව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත. කළුතර දිස්ත‍්‍රික්කයේ පාලින්ද නුවර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි අත්වැල්තොට දියඇල්ල ආශ‍්‍රිත කුඩා විදුලි බලාගාරයක් ඉදිකිරීමේ සූදානමක් නිසා මෙම තර්ජනය උද්ගත වී ඇත.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය කළ අධ්‍යනයකට අනුව ලංකාවේ වසන අවදානමට ලක්වූ මත්ස්‍ය විශේෂ 01 ක්, තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ 09 ක්, තර්ජිත මත්ස්‍ය විශේෂ 01ක්, අවදානම් මත්ස්‍ය විශේෂ 04ක් අත්වැල්තොට ස්වභාවික ජල පරිසර පද්ධතියෙන් හමුවී ඇති බවට වාර්තා වේ. මුළු ලෝකයෙන්ම මෙම ස්ථානයට පමණක් විශේෂිත වූ මාටින්ස්ටයින් වැලිගොව්වා හා කළුවරල් හල්මල් දණ්ඩියා නමැති මත්ස්‍ය විශේෂ දෙක මෙහි ජීවත්වන බවද පර්යේෂකයන් තොරතුරු ඉදිරිපත් කර ඇත. ජෛව විද්‍යාත්මකව මෙවැනි වැදගත්කමක් ඇති අත්වැල්තොට දියඇල්ල, මෙගාවොට් 1 ක කුඩා ජල විදුලි බලාගාරයක් සදහා අවසර දී ඇත්තේ 2016 නොවැම්බර් 09 වන දින පරිසර අධිකාරියේ පැවති රැස්වීමකදීය.


