පුද්ගලයෙක් මියගියාට පසුව මළ සිරුර අයිතිකරගැනීම පිළිබද ප්‍රශ්නයක් තමන්ට නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. මේ බව පැවසුවේ සෝමවංශ අමරසිංහ අවමංගල්‍ය කටයුත්ත පිලිබද ඇතිව ඇති මතබේදය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩගෙන් ජනමාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද ප්‍රකාශ කළේය.
“පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නෙ සෝමවංශ අමරසිංහ සහෝදරයා සමග දේශපාලනය කරලා ඔහු ඇතුලු ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන ගමනෙන් ඉවත් වී වෙනම දේශපාලන ගමනක් යන ව්‍යාපාරයක්. අපට ඔහු සමස්ත අතීත පරම්පරාව පිලිබද සංකේතයක්. සමාජවාදය වෙනුවෙන් සන්නද්ධ අරගලයක යෙදිලා සමාජවාදය වෙනුවෙන් වධ වින්ද මුලු පරම්පරාවක සංකේතය සෝමවංශ සහෝදරයා. ඒ බොහෝ සහෝදර සහෝදරියන් මියගිහින් නිසා ඔවුන්ගෙ දේශපාලන අත්දැකීම අපි උකහා ගත්තෙ සෝමවංශ සහෝදරයා හරහා.
අපි ඔහුගෙන් දේශපාලනය ඉගෙන ගත්තා. ඒවගේම ඔහුගෙන් ජිවනාදර්ශයක් ගත්තා. ඔහු බොහොම අල්පේච්ඡ ජිවිතයක් ගත කළේ. ඇදුම් පොත්පත් ගමන් මල්ලක දාගෙන පක්ෂය කියන ඕනෑම තැනක වැඩකරන්න යන්න සූදානමින් ඔහු හිටියෙ. ඒ ජීවිතය අපි ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඔහු සමග දේශපාලනය කරමින් එක දුරකදි අපි ඒ දේශපාලනයෙ සීමාවන් අඩුපාඩු හදුනාගත්තා. එයින් පස්සෙ ඔහු අපේ දේශපාලන ප්‍රතිවාදියෙක් බවට පත් වුණා. ඒ පුද්ගලයෙක් ලෙස නොවේ, ඔහු නියෝජනය කල ජාතිකවාදය, සභාගවාදය, සංශෝධනවාදය වැනි දේශපාලන වැරදිවලට අපි විරුද්ධ වුණා. ඒවා වමේ ව්‍යාපාරය තුළ ඉස්මතු වෙද්දි ඊට එරෙහි අරගලයක් කරන්න සමත් දියුනු දේශපාලන සම්ප්‍රදායක් තිබුනෙ නෑ. එවැනි සම්ප්‍රදායක් හදන්න නොහැකි වුනේ 1935 සිට පැවැති වමේ ව්‍යාපාරයේ අසමත්කමක් නිසයි. ඒක පුද්ගලයෙකුගෙ වරදක් නෙවෙයි.
අපි ඔහුගෙන් දේශපාලනය ඉගෙන ගත්තා වගේම ඔහු අපේ ප්‍රතිවාදියා බවට පත්වීමෙන්ද ඉගෙන ගත්තා. එහෙම දේශපාලනය ඉගෙන ගත්ත අපට මැරෙනතුරු ඔහුව අමතක වෙන්නෙ නෑ. නමුත් ඔහුගෙ දේශපාලනයට අපි එකගත් නෑ. ඔහු මියයන වෙලාවෙ වැඩකරපු පක්ෂයේ අය විසින් අවමගුල් කටයුතු කරද්දි අප විසින් කළ යුතු යුතුකම් ඉටු කරන එකයි අපේ අරමුණ. මරණයට පත් සුවිශේෂී පුද්ගලයෙකුගෙ මලසිරුර වෙනුවෙන් අයිතිය තහවුරු කිරීමෙ උවමනාවක් අපට නෑ. ඒ නිසාම කවුරුත් එක්ක තරගයක් අපට නෑ. “