පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුවේ අවසන් නිගමන හා නිර්දේශ වාර්තාව කුමන බාධක ආවත් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කාරක සභික ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එජාප මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් බයිස්කෝප් වාර්තාවක් ඉදිරිපත් කරමින් අලි බබා බේරා ගෙන හොරුන් දහ දෙනෙක්ගෙන් කිහිපදෙනක් බැඳුම්කර වංචාවට හසු කිරීමේ උත්සාහයක නිරත වන බවද ඔහු කීය.
මහබැංකුවේ බැදුම්කර වංචාව මගින් අයුතු ලාභ ඉයීම සම්බන්ධව අර්ජුන් අලෝසියස්ට හා ඔහුගේ බව කියන ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්‘ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීම නිර්දේශ කළ යුතු බවට තීරණයක් “රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව“ ගෙන තිබේ. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඊයේ පැවති කෝප් කමිටු සාකච්ඡාවෙන් පසු කියා සිටියේ කෝප් කමිටු වාර්තාව පදනම් කරගනිමින් ‘පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්‘ සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නා බවයි.
කෙසේවෙතත් එදින කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති හැර විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු පැමින නැති අතර කමිටු රැස්වීමට සහභාගී වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පමණය. වාර්තාවන ආකාරයට මින් පෙර කෝප් කමිටු වාර්තාව සදහා පැවැති ඡන්ද විමසීමකට සාමාජිකයන් 26න් සහභාගී ඇත්තේ 13ක් පමණක් බව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර තිබිනි. එම කමිටු රැස්වීමේදී මන්ත්‍රීවරු 8දෙනකු විසින් එකග වූ වාර්තාවක් සකස් කර ඇතත් එය අවසන් වාර්තාව බවට පත්කිරීම පිළිබද ඊයේ පැවැති කමිටු වාරයේදී විවාදයක් ඇතිව තිබේ. ඉන්පසු කෝප් කමිටුවේ එ.ජා.ප. සාමාජිකයන් බැඳුම්කර සිද්ධියට අදාළව විකල්ප වාර්තාවක් සකස් කර ඇත. විගණකාධිපති වාර්තාව නිවැරදි නොවන බව ප්‍රකාශ කරමින් එජාප කණ්ඩායම සිය විකල්ප වාර්තාව කමිටුව හමුවේ තබා ඇත.
කෙසේවෙතත්, එම තත්වය නිසා පීඩාවට පත් සභාපති සුනිල් හදුන්නෙත්ති කමිටුවෙන් නැගිට ගිය බව වාර්තා විය.මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි ලෙස කරුණු හදාරා දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ සිදුකොට පොදු වාර්තාවක් ලෙස ඉකුත් 21 වන දින කෝප් කමිටුව සම්මත කරගත් වාර්තාවේ පැහැදිලිවම ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ නිර්දේශ කර තිබියදී වෙනත් වාර්තා ඉදිරිපත් කිරීම චූදිතයන් බේරාගැනීමට ක්‍රියා කිරීමක් බැව් තමන් තරයේ විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි. ඔහු ජනමාධ්‍ය හමුවේ පවසා ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කරන ලෙස ඔහුට එජාප මන්ත්‍රිවරුන් බලපෑම් කළ බවයි. එහෙත් එසේ කළ නොහැකි බවත් එකග විය නොහැකි කාරණා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස හදුන්නෙත්ති මන්ත්‍රිවරයා එජාප මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. එසේම මෙවැනි ආකාරයෙන් බලපෑම් සිදුවන පසුබිමක තමන්ට තවදුරටත් සභාපති ලෙස කටයුතු කළ නොහැකි බැවින් තාවකාලිකව සභාපතිවරයෙක් පත්කරගෙන ඔවුන්ට අවශ්‍ය වාර්තාව ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඔවුන් සකසා දෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තමන් බැඳී සිටින බව පවසා ඇති හදුන්නෙත්ති මන්ත්‍රිවරයා ඔවුන්ට අවශ්‍ය වාර්තාවක් සකස් කරගැනීම වෙනුවෙන් තමන්ට එම ධුරයේ කටයුතුවලට සම්බන්ධ විය නොහැකි නිසා ඉවත්වී ආ බව හදුන්නෙත්ති මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වකවානුවේ තමන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු නොකළ බව අර්ජුන් ඇලෝසියස් ජනමාධ්‍ය වෙත පවසා ඇත.