‘මගේ සටන’ (Mein Kampf) ඕස්ටෙ‍්‍රලියානු සංස්කරණය

‘ආක‍්‍රමණය සහ සමූහ සංහාරය’ තමන්ගේ නිල ප‍්‍රතිපත්තිය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඔස්ටේ‍්‍රලියානු ආණ්ඩුව නැවත නැවතත් තහවුරු කරමින් සිටියි. පසුගියදා උත්සවශ‍්‍රියෙන් සහ විරෝධතා උද්ඝෝෂණ මැද සැමැරුන ඔස්ටේ‍්‍රලියානු දිනය නැතහොත් එරට ජාතික දිනය එය විදහා දක්වන කදිම සාදෘශ්‍යයකි.

ඔස්ටේ‍්‍රලියාව යනු ඇබොරිජින් (Aborigines) නමින් හැඳින්වෙන ආදිවාසීන්ගේ පාරම්පරික නිජබිමය. වසර 60,000 ඉක්මවන දීර්ඝ කාල වකවානුවක සිට අනන්‍ය වූ සංස්කෘතික සහ සමාජීය පැවැත්මක් සහිතව ඔවුහු එහි වාසය කළහ. නමුත් නව ලෝකය සොයා ගිය බටහිර ඊනියා දේශ ගවේශකයන් ඔස්ටේ‍්‍රලියාවට පා තැබීමත් සමඟම සියල්ල කණපිට හැරිනි. එහි මූලාරම්භය සළකුනු වූයේ ආණ්ඩුකාර ආතර් පිලිප් (Arthur Phillip) වර්ෂ 1788 ජනවාරි 26 වැනි දින ප‍්‍රථමවරට ඔස්ටේ‍්‍රලියාව තුළ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය ප‍්‍රකාශ කළ තැන් පටන්ය. අනතුරුව ආක‍්‍රමණිකයෝ ඇදහිය නොහැකි කෲරතර සංහාරයක් ඇරඹුහ. ඊට ඔවුන් ලබා දුන් නාමය වූයේ ශිෂ්ටත්වයයි. ඒ යටතේ ආදිවාසීන් කිසිදු විටෙකදී මනුෂ්‍යයන් ලෙස නොසැළකිනි. ශිෂ්ටත්වයෙහි ඉලක්කය වූයේ ඔවුන්ව තොග ගණනින් වෙඩි තබා, වසදී මෙන්ම වසංගත රෝගාබාධවලට ගොදුරුකොට මරා දැමීමය. ඉන් මිදුනවුන්ටද තත්‍ය ජීවිතය අහිමි විණි. සමස්ත වාසභූමියම පැහැරගෙන ඔවුහු වහල් භාවයට ඇද හෙළන ලදහ. වර්ෂ 1788දී එනම් සංහාරකයා පැමිණෙන විට ආදිවාසීන්ගේ සහ ටොරෙස් ස්ට්රෙයිට් දූපත් (Aborigines and Torres Strait Islanders) ජනගහනය 250,000 සිට 750,000 අතර මට්ටමක පැවති බව මහාචාර්ය කොලින්ටට්ස් ඇතුළු ක්ෂේත‍්‍ර පිළිබඳ පර්යේෂකයන්ගේ ඇස්තමේන්තුවයි. වර්ෂ 1911 පැවැති සංගණනයට අනුව එම ප‍්‍රමාණය 31,000කි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංවිධිත සංහාරයකි. ඔස්ටේ‍්‍රලියාව තුළ පමණක් නොව උතුරු-දකුණු අමෙරිකා සහ අප‍්‍රිකා මෙන්ම ආසියානු මහද්වීපයන් තුළ දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එකී ලේ වැකි ම්ලේච්ඡුත්වයෙහි ගොදුරු බවට පත් වූහ. එය ඉදිරිපිට නාසින්ද අගුටුමිට්ටන්ය.

උත්ප‍්‍රාසය නම් අදාළ සංහාරයට ආරම්භය ලබා ගත් ‘ජනවාරි 26’ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඔස්ටේ‍්‍රලියානු රාජ්‍යයෙහි ජාතික දිනය නැතහොත් ඔස්ටේ‍්‍රලියානු දිනය වීමය.

ආදිවාසීන් මෙන්ම සංක‍්‍රමණක පසුබිමක් ඇති සැළකිය යුතු ජනකායක් පසුගිය සතිය තුළ ඔස්ටේ‍්‍රලියාව පුරා විවිධ තන්හි මේ අවමානයට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළහ. ඔවුන්ට අනුව එය ‘සංහාරයේ’ සහ ‘ආක‍්‍රමණයේ’ දිනයයි. තමන් තවමත් සැලකුම් ලබනුයේ දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙසින් බව ඔවුහු කියා සිටිති. සේවා සහ පොදු ස්ථානවලදී ජාතිවාදී පරිභවයන්ට සහ අසමානතාවන්ට ලක්වීම ඉන් ප‍්‍රධානය. තවද ආදිවාසීන්ට අදාළ සෞඛ්‍ය පහසුකම්ද දුර්වල මට්ටමක පවතී. ඔවුන්ගේ ජීවන අපේක්ෂාව සංක‍්‍රමණික සුදු ජාතිකයන්ට සාපේක්ෂව වසර 10.6කින් අඩු බව ඔස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය සහ සමාජ සුභසාධන ආයතනය කියා සිටියි. ඔවුනතර හෘදයාබාධ සහ වකුගඩු ආසාදනයන් ඇතුළු සෞඛ්‍ය ගැටලූද සෙස්සන්ට වඩා සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. ක්ෂමා ජාත්‍යන්තරයෙහි ලේකම්වරියක ලෙස 2001-2009 කාලයේ කටයුතු කළ ඉරෙනි කාන් වරෙක කියා සිටියේ ආදිවාසීන් බහුතරයක් ජීවත් වන මධ්‍යම ඔස්ටේ‍්‍රලියාව සහ ආසියාවේ මෙන්ම අප‍්‍රිකාවේ දිළිඳු ප‍්‍රදේශ එකිනෙකට සමාන කොට සංසන්දනය කළ හැකි බවයි. ‘ඇත්තටම ඔවුන් අතහැර දමනු ලැබ ඇත’. ඒ ඇයගේ අදහසයි. වාර්ගික අසමානත්වය සහ ජාතිවාදය ඔස්ටේ‍්‍රලියාවෙහි දෛනික ජීවිතයටද සැළකිය යුතු ප‍්‍රමාණයකින් කා වැදී ඇති බව පසුගිය කාලවකවානුව තුළ (Beyond Blue) ආයතනය කරන ලද සමීක්ෂණයකින්ද පැහැදිලි වී තිබේ. නිදසුනක් ලෙස ආදිවාසියෙක් තමන් අසළ අසුන් ගතහොත් සංක‍්‍රමණික ඔස්ටේ‍්‍රලියානුවන්ගෙන් 21%ක් ඔහුව මඟ හැර යන බව එහිදී හෙළිව තිබේ. තවත් 37%ක් විශ්වාස කරනුයේ ආදිවාසීන් ‘අලසයන්’ බවය. එවැනි සමීක්ෂණයන්ට අදහස් දක්වන බහුතරයකගේ පොදු ප‍්‍රතිචාරය වනුයේ ‘මම ජාතිවාදියෙක් නෙමෙයි, නමුත්……….’ වශයෙනි. නමුත් අවසානයේදී ඔහු ජාතිවාදය සාධාරණීකරණය කරයි. එය අනියම් ජාතිවාදය (casual racism) ලෙස හැඳින්විය හැකිය.

ඔස්ටේ‍්‍රලියානු රජය සරණාගතයන් සම්බන්ධවද අනුගමනය කරනුයේ මෙබඳුම ප‍්‍රතිපත්තියකි. ඒ අනුව බෝට්ටු මඟින් පැමිණෙන්නන් මුහුද මැදදීම අත්අඩංගුවට ගෙන අදාළ රටවලට පිටමං කෙරෙති. කෙසේ හෝ ආරක්ෂක බලකායන්ගෙන් මෙන්ම මරණයෙන්ද මිදී ඔස්ටේ‍්‍රලියානු භූමියට පැමිණියද සරණාගතයන්ට ගැලවීමක් නොලැබෙයි. අනතුරුව ඔවුහු නාවුරු, පැපුවා නිව්ගිනි (මානුස් දූපත) මෙන්ම කාම්බෝජය යන ලෝකයේ දිළිඳුතම රටවල් තුළ නැවත පදිංචි කෙරෙති. මෙය සරණාගතයන් පිළිබඳ ඩබ්ලින් සහ ජිනීවා ප‍්‍රඥප්තීන් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමකි.

උද්ගතව ඇති තත්වය ඔස්ටේ‍්‍රලියාවට සීමා වූවක් නොවන බව කිව යුතුය. අද්‍යතන යුරෝපයෙහි ප‍්‍රවණතාවද මෙයයි. සරණාගතයන්ද ඇතුළු විදේශිකයන් තක්කඩින්, මං පහරන්නන් සහ අලසයන් ලෙස නිරතුරුව චිත්ත‍්‍රයණය කෙරෙයි. මතු වන සහ තීව‍්‍රර වන පන්තිමය ප‍්‍රතිවිරෝධතා පහසුවෙන් දිය කර හැරීම එහි අරමුණ බව නොකිවමනාය. වර්ගවාදය ධනවාදයෙහි නිල දෘෂ්ටිය ලෙස ඉහළට එසවෙමින් පවතින බව නැවත නැවතත් සටහන් කළ යුතුව තිබේ. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් යථාර්ථය නොවනු ඇත. සැබවින්ම එය නොස්ටැල්ජියාවක් සහ ලිබරල් අලංකාරිකයක් පමණි.