මොසූල් නගරය මුදා ගැනීමේ මාස නමයක පටන් පැවැති සටන් ඊයේ අවසන් වන බවට සංඥා කරමින් ඉරාක අගමැති හයිදර් අල් අබාඩි මොසූල් නගරය වෙත පැමිණ තිබේ.
මේ අනුව පෙනීයන්නේ මොසූල් නගරයේ පැවති සටන්වලින් ඉරාක හමුදාවේ ජය තහවුරු කර ඇති බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව මාස කිහිපයක සිට පැවැති දරුණු ගැටුම් මධ්‍යයේ ඉරාක හමුදාව හා එක්වූ ඒකාබද්ධ හමුදා විසින් ඊයේ දිනයේදී අයි. එස්.වරුන් සතුව ඉරාකයේ පැවැති අවසන් බලකොටුව ලෙස සැලකෙන මොසූල් නගරය මුදා ගැනීමට සමත්ව ඇත.
2014 වසරේ සිට අයි .එස්. ඉස්ලාමීය අන්තවාදීන්ගේ පරිපාලන නගරය ලෙස මොසූල් නගරය ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුනි. මෙම හමුදා මෙහෙයුමෙන් ඉරාක වැසියන් ලක්ෂ නමයක් පමණ අවතැන්ව සිටින බව වාර්තාවේ. මොසූල් නගරය ඉරාකයේ දෙවෙනි විශාලතම නගරයයි.
ඉපරණි වටිනාකමවලින් යුත් ස්ථාන ගණනාවක්ද මෙම මෙහෙයුමේදී විනාශවී ඇතැයි වාර්තාවේ.ඊට අමතර බොහෝ ගොඩනැගිලි හා නිවාස විශාල සංඛ්‍යාවක්ද විනාශවූ බවත් මොසූල් වාසී ජනතාවට සිය වාසස්ථාන සියල්ල අළුතින්ම සකස් කිරීමට සිදුවන තත්වය ඇතිව තිබෙන බවද වාර්තාවේ.
මෙම ජනාකීරණ තත්වය නිසා මොසූල්වාසීන්ව අයි.එස් වරුන්ගේ මිනිස් පළිහක් බවටද පත්කර ගෙන සිට ඇත.මේ නිසා මුදා ගැනීමේ මෙහෙයුම් ඉතා සංකීර්ණ වූ බව වාර්තාවේ.