ඇත්ත ඩෙංගු රෝගී සංඛ්‍යාව ආණ්ඩුව කියන ගාන වගේ හතර ගුණයක්! – නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය
Posted on 07.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඩෙංගු වසංගත තත්වය සහ ඩෙංගු මැඩලීමට කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණය පිළිබඳ අදහස් දැක්වීමට නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද (11) කොළඹදී ජනමාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබිණි.
එහිදී නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, වෛද්‍ය ශිෂාන්ත දසනායක දැක්වූ අදහස් පහත පළ වේ.
“අද වෙනකොට ඩෙංගු රෝගය අපේ රට ගිලගෙන ඉවරයි. ආණ්ඩුවේ වාර්තාවලට අනුව 80,000ක ඩෙංගු රෝගීන් සංඛ්‍යාවකුත් 235ක් ඩෙංගු මරණ සිද්ධ වෙලා තියෙනවා. මේක ඩෙංගු අධිවසංගත තත්වයක්. සුමානයක් දෙකක් නෙවෙයි, අපේ‍්‍රල් අග සතියේ සිට මේ දක්වා මාස දෙක හමාරක් වෙනවා. මරණ සංඛ්‍යාව ගැන වාර්තාවලට එකඟ වුණත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව වැරදියි. මොකද ඩෙංගු රෝගය වැළඳුනාට පසුව රෝහල්ගතවීම අඩුයි. රෝගියෙක් රෝහල්ගත කරන්නේ රුධිර රෝගියා අසාධ්‍ය තත්වයට පත්වුණොත් විතරයි. රෝහල්වල ඇඳන් පිරී ඉතිරී තිබෙනවා.
හඳුනාගත් තරල කළමනාකරණය ක‍්‍රමය ගෙදරදී සිදු කිරීමෙන් රෝගීන් නිවසේදී සුව වෙනවා. නිවසේ සුව වෙන රෝගීන් මේ සංඛ්‍යාලේඛනවලට ඇතුලත් වෙන්නේ නැහැ. වසංගත රෝග අංශය වාර්තා කරන්නේ හඳුනාගැනීම් වාර්තා කිරීම කියන ක‍්‍රමවේදයට. දැනට ඩෙංගු රෝගීන් ආණ්ඩුව වාර්තා කළ ප‍්‍රමාණයට වඩා 4 ගුණයක්වත් වෙන්න ඕන. මේ මරණ 235න් තහවුරු වෙන්නේ මාරාන්තික තත්වයට පත්වුණොත් සෞඛ්‍ය සේවයේ ඉන්න කාටවත් ඒක වලක්වන්න බැහැ කියන එක.
රෝගීන් සුවකිරීමට පාර්ශ්ව දෙකක කි‍්‍රයාකාරිත්වයක් තියෙනවා. එක පාර්ශ්වයක් වෛද්‍යවරු. අනෙක් එක රෝහල් කාර්ය මණ්ඩලය. මේ දෙපාර්ශවයේ කැපවීම හා තරල කළමනාකරණය නිවැරදිව අනුගමනය කරන නිසා. නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම නිසා නෙවෙයි. ඩෙංගු රක්තපාත වුණ, ඩෙංගු කම්පන මට්ටමට පත්වුණ රෝගීන්ගේ පවා. ජීවිත බේරාදීමේ හැකියාව සෞඛ්‍ය සේවයට තියෙනවා. ඩෙංගු රෝගීන් සඳහා ජාතික රෝහලේ වාට්ටුවක් විවෘත කරලා තියෙනවා. ඒ තත්වය පවා ඇතිවෙන්නේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ සහ ද්‍ය කාර්යමණ්ඩලයේ වුවමනාව මත. එහෙම කළාට පස්සේ දේශපාලකයන් ලකුණු දමාගන්නවා මිසක් එහෙම දෙයක් කරන්න වුවමනාවක් නැහැ.
තරල කළමනාකරණ ප‍්‍රතිකාර ක‍්‍රමය දියුණු කරන්න. අයි.ඞී.එච්. රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සහ ඔහුට සහාය දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක්. නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීමක ප‍්‍රතිඵලයක් නෙවෙයි. රෝහල්වල කි‍්‍රයාකාරිත්වය වැදගත් වෙන්නේ රෝගීන්ට. රෝගී වුනාට පස්සේ සහ අසාධ්‍ය වුනාට පස්සේ. ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය තියෙන්න ඕන රෝහල්වලට පහසුකම් සැපයීම. අනෙක් පැත්තෙන් ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට. ඒ අනුව බැලූවම ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වයේ කිසිම වර්ධනයක් වෙලා නැහැ. මීට අවුරුදු 2-3කට කලින් හිටපු තැනමයි ඔවුන් ඉන්නේ. ඩෙංගු රෝගයත්, ඩෙංගු රෝගය පතුරවන EDC වාහකයත් වර්ධනය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව එක තැන පල්වෙමින් ඉන්නවා.
ආණ්ඩුව කරන දේ තමයි නිවාස පරිශ‍්‍රයන් පරික්ෂා කරලා. සමහර කාර්යාල භූමි, පන්සල්, පාසැල් භූමි පරික්ෂා කරලා. තැඹිලි කෝම්බයක හෝ යෝගට් කෝප්පයක කොතනක හරි මුල්ලක මදුරු කීටයන් හිටියොත් ඩෙංගු මදුරු කීටයන් ලෙස සලකා උසාවියට ඉදිරිපත් කරලා එම ආයතනයේ නිවසේ ප‍්‍රධානියාට දඩ නියම කිරීම තමයි කරමින් ඉන්නේ. දඩ නියම කළා කියලා එකම ඩෙංගු රෝගියෙක්වත් අඩුවෙලා නැහැ. ආණ්ඩුව ’ඩෙංගු මර්දන සතිය’ දෙක, දිනය කියලා නම් කරමින් ඉන්නවා. මාධ්‍යයට එන්න කියලා ඒකට පෙනී ඉදලා. වෙනම කමිසයකුත් ඇදගෙන පරිසරය පිරිසිදු කරනවා කියලා කුණු එකතු කරලා භාජනයට දානවා. ඒ පරිසරය ඒ මොහොතට පිරිසිදු වෙනවා. ඊළඟ දවසට ඊළඟ මාසයට කරන්නේ මොකක්ද කියලා වැඩපිළිවෙළක් නැහැ. පිරිසිදු කරන පරිසරය ඒ මොහොතෙදී නොගැලපුනා වුණත් ඊට දවස් දෙකට පසුව මදුරුවාට ගැලපෙන තත්වයට තමයි පත්වෙලා තියෙන්නේ.
සසුගිය කාලේ කතා කළා BTI බැක්ටීරියාව ගෙනල්ලා ඩෙංගු මර්දනය කරන්න පුළුවන් කියලා තමයි කලින් ආණඩුව කාලේ කිව්වේ. ඒ බැක්ටීරියාව අසාර්ථක බව අපි එදා කිව්වා. ඒ බැක්ටීරියාව රඹුටන් ලෙලිවලට, යෝගට් කෝප්ප වගේ කුඩා ඒවට දාන්න බැහැ. ඒවා එකතු කරන්න පුළුවන් වෙන්නේ මහා පරිමාණයෙන් වතුර පවතින තැන්වලට. ඒ බැක්ටීරියාව ඩෙංගු මදුරුවන් මර්දනය කරන්න පුළුවන්. නමුත් ඒවා භාවිතා කිරීම පිළිබඳ තාක්ෂණික දැනුම ආණ්ඩුවේ බලධාරින්ට නැහැ.
දැන් මේ ආණ්ඩුව කියනවා මල් පැනි බොන මදුරුවෙක් ගෙනල්ලා ඩෙංගු මර්දනය කරනවා කියලා. මේක මහ ප්‍රෝඩාවක්. මේ මල් පැනි බොන මදුරුවයි. ඩෙංගු මදුරුවයි එකම ජලය තියෙන තැනක බිත්තර දැම්මොත් ඒ මදුරුවන්ගේ කීට අවස්ථාවෙදි මල් පැනි බොන මදුරුවාට පුළුවන් ඩෙංගු මදුරු කීටයන් කා දමන්න. ඒ නිසා අපි මදුරුවන්ට කියන්න වෙනවා උඹලා දෙන්නම වලවල් දෙකක බිත්තර දාන්නේ නැතිව එකම වලක බිත්තර දාපල්ලා කියලා.
ඩෙංගු මදුරුවන් බිත්තර දාන්නේ වැහිපීල්ලක, එහෙම නැත්නම් පුංචි පුංචි තැන්වල. හැබැයි අර මල් පැනි බොන මදුරුවා බිත්තර දාන්නේ ගස් බෙණවල. ඒ මදුරුවන්ට කියන්න වෙලාව ඔයා යෝගට් කෝප්පයේ, රඹුටන් ලෙල්ලෙ බිත්තර දාන්න කියලා. නැත්නම් ඩෙංගු මදුරුන්ට කියන්න වෙනවා ගස් බෙනවල බිත්තර දාන්න කියලා. එහෙම උනොත් තමයි ඒ කීටයන් එකා එකා කා ගෙන ඩෙංගු මදුරු කීටයන් අවසන් කිරීමට පුළුවන් වෙන්නේ.
මේ වගේ දේවල් සමස්ත ඩෙංගු මර්දන විසඳුම් ව්‍යාපාරයක අංගයක් ලෙස දක්වන්න පුළුවන්. නමුත් එය එකම විසඳුම ලෙස ඉදිරිපත් කරලා ජනතාව ගොනාට අන්දලා මේකෙන් ගැලවෙන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක රංගනයක්. මේකෙන් ඩෙංගු නතර වෙන්නේ නැහැ. නතරවුනොත් නතර වෙන්නේ පාරිසරික වෙනස්කම්වලට අනුව ජලය එකතුවීම අඩුවුණොත් විතරයි.
මේක මර්දනය කරන්නේ කොහොමද කියලා අපට කියුබානු උදාහරණය මතක් කරලා දෙන්න පුළුවන්. 1982දී කියුබවෙ ඩෙංගු රෝගීන් ලක්ෂ දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා කියුබාවෙ මරණ 108ක් සිදුවුණා. ඒ වෙලාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ඇතුළු නායකත්වය කම්පනයට පත්වෙලා තීරණයක් ගත්තා, ජාතික වැඩපිළිවෙළක් හදලා ඩෙංගු මර්දනය කරන්න ඕන කියලා. ඔවුන් හිතුවා දැන් තියෙන වැඩපිළිවෙළට පරිබාහිර වෙනත් වැඩපිළිවෙළක් ඕන කියලා. ඒ රටේ වෛද්‍යවරු සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සම්බන්ධ කරගෙන ඩෙංගු මර්දනයට අදාළ වැඩපිිළිවෙළක් හැදුවා. ඒ වැඩපිළිවෙළට අනුව උපාධිධාරින් 25,000ක් ඩෙංගු මර්දන වැඩපිළිවළට බඳවා ගත්තා. මාස 3ක් ඇතුලත පුහුණු කළා. මුළු රටපුරාම ඒ පිරිස බෙදාහැරියා. ඒ අයට බල ප‍්‍රදේශ භාර දුන්නා. නිවාස 500කට එක කමිටුව බැගින් ජන කමිටු හැදුවා. ඊට පස්සේ මාස 6ක අඛණ්ඩ වැඩපිළිවෙළක් හදලා ඩෙංගු මදුරුවන් පලවා හැරියා. ඒක කළේ ආණ්ඩුවේ සහභාගිත්වයයි, ජන සහභාගිත්වයි දෙකම එකට බද්ධකරපු වැඩපිළිවෙළක් යටතේ. ඒ ආණ්ඩුව කාටවත් දඩ ගැහුවේ නැහැ. ඒ හදපු වැඩපිළිවෙල තවමත් කි‍්‍රයාත්මක කරනවා. මදුරු කීටයන් බෝවෙනද කියලා සොයා බලනවා. ඔවුන් ඒකට විවිධ උපක‍්‍රම යොදාගන්නවා. එක් අවස්ථාකදි කරන්නේ ටයර් එකක් එල්ලා දින පහෙන් පහට ඒක පරික්ෂා කරනවා. මදුරු කීටයෝ ඉන්නවා නම් මදුරු මර්දන ව්‍යාපාරය ඒ ප‍්‍රදේශයට මැදිහත් වෙනවා. මෙන්න මේ වගේ විධිමත් වැඩපිළිවෙළක් අවශයි.
දැන් ලංකාවේ කි‍්‍රයාත්මක කරන්නේ ලිපිනය සොයාගෙන ගිහිල්ලා දුම් ගහනවා. ඒ ගෙදරට විතරක් දුම් ගැහුවට පස්සෙ උන් අල්ලපු ගෙවල්වට මදුරුවො යනවා. ඊට පස්සේ අල්ලපු ගෙදර හැමෝටම ඩෙංගු හැදෙනවා. මේ ධූමායනයෙන් කෙරෙන්නේ මදුරුවන් මැරෙන එක නෙවෙයි මදුරුවන් පළායන එක. ඩෙංගු මදුරුවා කියන්නේ පරිපෝෂිතයෙක්, රුධිරයෙන් ජීවත්වෙන මදුරුවෙක්. මේ මදුරු මර්දන ව්‍යාපාරය නිකන් සෝබන වැඩක් විතරයි. ඒ නිසා මේ රටේ සැබෑඩෙංගු මර්දන ව්‍යාපාරයක් නැතිකම විසින් මියයන සහ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම නොනැවතීම ගැන ආණ්ඩුවට, සෞඛ්‍ය බලධාරින්ට වගකීමෙන් මිදෙන්න බෑ.”
නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය වෙනුවෙන් මේ අවස්ථාවට එක් වූ වෛද්‍ය චන්දන ජයකොඩි ද මෙම අවස්ථාවට සහභාගි විය.