ඇමති මංගල, අධිකරණයටත් කලින් සයිටම් තීන්දුව දෙයි!

ශිෂ්‍ය ප්‍රජාව, සරසවි ආචාර්යවරුන්, වෛද්‍යවරු හා ආණ්ඩුවේ ඇමතිවරුන් අතර ද සයිටම් ආයතනය සම්බන්ධ විරෝධතා තිබියදී ‘සයිටම් වැනි තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල රටට අවශ්‍ය බව‘ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසා ඇත.

පසුගියදා කැබිනට් සංශෝධනයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව ප්‍රවෘත්ති පොර්තමේන්තුවට ගොස් එහි කාර්ය මණ්ඩලය අමතමින් කළ කතාවේදී ඇමතිවරයා මේ බව පවසා ඇත. සයිටම් ආයතනය සම්බන්ධ එහි ආරම්භයේ සිට පවතින වංචනික ස්වභාවයත් අධ්‍යාපන අයිතිය මුදල් මත තීරණය නොවිය යුත් බවටත් විශාල අදහස් ප්‍රමාණයක් සමාජගතව තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබියදී මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව තවතවත් එවැනි ආයතන පිහිටුවන්නට පක්ෂපාත බවයි. ඔහු එහිදී අදහස් දක්වා ඇත්තේ මෙසේය.

“සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට අවශ්‍යයි. ඒ අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට. දැනට විශ්වවිද්‍යාලවල තිබෙන්නේ පුරප්පාඩු 25,000ක් විතරයි. නමුත් උසස් පෙළ සමත් වෙනවා 175,000 කට අධික පිරිසක්. මේ අයගෙන් උසස් අධ්‍යාපනයට යොමු වීමට හැකි වෙන්නේ ඒ 25,000 ටයි. මුදල් ගෙවා පිටරට විශ්වවිද්‍යාලවලට යා හැකි අයත් ඉන්නවා. නමුත් මධ්‍යම පාන්තික දරුවන්ට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. නිසි ප්‍රමිතියක් නැති පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රැවටී කුමන හෝ උපාධියක් ලබා ගැනීමටයි ඔවුන්ට සිදුවන්නේ. මේ නිසා මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට හඳුන්වා දී එහි කොන්දේසියක් ලෙස නොමිලේ උගන්වන ශිෂ්‍යන් 25% ක් 30% ක් පමණ සිටිය යුතුයි යන්න සහ උගන්වන දේ නිවැරදි ද යන්න නියාමනය කිරීමට මෙන් ම නිසි ප්‍රමිතියක් නැති පෞද්ගලික පාසල් නියාමනය කිරීමට නියාමක කොමිසමක් පත් කර මේ සඳහා කටයුතු කළහොත් පමණයි.“