අතුරුදන්කළවුන් වෙනුවෙන් විරෝධතාවට දින සියයක්! – ආණ්ඩුව බීරි අලියෙක්!

යුද සමයේ අතුරුදන්කරවූ සිය දරුවන් පිළීබද තොරතුරු හෙළිදරව්කරගැනීම හෝ වෙනත් ආකාරයෙන් යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් උතුරේ මව්පියන් ආරම්භ කළ විරෝධතා සත්‍යග්‍රහ ව්‍යාපාරයට දින 100ක් සපිරී තිබේ.

කිලිනොච්චියේ විරෝධතාවට මැයි 30 වැනිදාට දින සියයක් පිරුනු අතර වවුනියාව විරෝධතාවට ඊයේ(4) වැනිදාට දින 100ක් සපිරුණි. මීට අමතරව ත්‍රිකුණාමලයේද දින සයයකට ආසන්න කාලයක් අතුරුදන්වූ තරුන තරුණියන් වෙනුවෙන් විරෝධතාවක් පැවැත්වේ. එසේම අහිමි කළ ඉඩම් වහා ලබාදෙන ලෙස ඉල්ලා මුලතිව්හි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වේ. මේ කිසිදු විරෝධතාවකට ආණ්ඩුවේ බලධාරින් වගකිවයුතු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

අතුරුදන් වූ දරුවන් පිළිබද ජනාධිපතිවරයාට යොමු කළ නමුත් කිසිදු පිළිතුරක් නොලැබුනු බව උතුරේ මව්පියෝ පවසති. පසුගියදා ජනාධිපතිවරයා විසින් පවසා තිබුණේ කදවුරුවල සිරගතකර කිසිවකු සිටිනවා නම් වහාම තමන්ට දන්වන ලෙසයි. එහෙත් කදවුරුවල තම දරුවන් සිටින බවක් දන්නවා නම් මව්පියන් මෙවැනි විරෝධතාවකට දින සිය ගනන් මහපාරේ රැදී නොසිටින බව ජනාධිපතිවරයාට කල්පනා වී නැත.