ලංකාවේ වසරකට ළමා ගැබිණියන් 15,000ක් පමණ වාර්තා වේ. සාමාන්‍යයෙන් වසරකට සිදු වන දරු උපත් සංඛ්‍යාවෙන් 5%ත් 7% අතර ප‍්‍රමාණයක් වයස අවුරුදු 19ට අඩු දැරිවියන් විසින් බිහි කරනු ලබන දරුවන්ය. මේ බව අනාවරණය කෙරුණේ ලෝක ජනගහන අරමුදල විසින් පෙබරවාරි 28 වැනිදා කොල්ලූපිටියේදී පවත්වන ලද මාධ්‍ය වැඩමුළුවකදීය. ‘ලිංගික හා ප‍්‍රජනන හිමිකම් සහ ජනමාධ්‍ය කාර්යභාරය’ යන තේමාව යටතේ වැඩමුළුව පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් වෛද්‍ය දයානාත් රණතුංග මහතා පැවසුවේ, වසර ගණනාවක් තිස්සේ උත්සාහ කළත් පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ප‍්‍රමාණවත් පරිදි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟ කර ගත නොහැකි වී ඇති බවයි. වසරකට ගැහැණු දරුවන් 15,000ක් දරුවන් බිහි කරන නමුත් උපත්පාලන කොපු පිළිබඳවවත් පෙළපොත්වලට ඇතුළත් කිරීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. නීතිඥ කමනි ජිනදාස මහත්මිය සහ මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වූහ.