මේ වනවිට තම පක්ෂයට බහුතර බලය හිමි මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු ලිඛිතව ඉල්ලීමක් දී ඇත.
චීන සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීම සඳහා මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම ඇමති ලක්ෂමන් කිරිඇල්ලට භාරදී තිබේ.
ඔවුන් සදහන් කරන ආකාරයට මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඇතුළත් මධ්‍යම පළාත් සභාවේ මුළු සභික ධුර සංඛ්‍යාව 58කි. මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ මන්ත්‍රී ධුර 40න් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් හයදෙනා සහ පළාත් සභා මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීම හේතුවෙන් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම 33 දක්වා පහත වැටී තිබිණි. ඊට අමතරව අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග මේ වන විට පළාත් සභා මන්ත්‍රීවරු 9 දෙනකු ස්වාධීන ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇත. මේ නිසා එ.ජ.නි.ස. ආසන සංඛ්‍යාව 24 තෙක් පහත වැටී ඇත. මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 25කි.
පවතින වත්මන් තත්ත්වය යටතේ සභික ධුර 25 හිමිකර ගනිමින් මධ්‍යම පළාත් සභාවේ බහුතර කණ්ඩායම ලෙස පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දෙයි. මේ නිසා ඔවුන්ගේ ඉල්ලීම වන්නේ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාව හිමි එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධුරය දෙන ලෙසයි.
කෙසේවෙතත් රාජපක්ෂගේ බලය පරාජය කරන බවට දස අතේ දිවුරා බලයට පත් ආණ්ඩුව තවමත් සිදුකරමින් ඉන්නේ රාජපක්ෂගේ බලය හා තරග කිරීම මිස තමන් විසින් බලය ලබාගත් කිසිදු ආයතනයකින් ජනතාවට ප්රතිලාභ හිමිකරදීමක් නොවන බව මේ ආකාරයෙන් තහවුරු වෙමින් තිබේ.