කාලෝ සිය අරගලයේ අරමුණ ජනමාධ්‍ය වෙත කියයි!

තමන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල වුවද ජනතාවගේ සෞඛ්‍ය අයිතින් වෙනුවෙන් තමන් ඉදිරිපත්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව ජනමාධ්‍යවේදින් හමුවේ පැවසුවේ අද(05) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති පෙත්සම් විභාගයක් අවසන්ව උපරිමාධිකරණ සංකීර්ණයෙන් පිටත්ව යන්නට සූදානම් වෙමිනි. සයිටම් ආයතනයෙන් මුදල් ගෙවා සහතිකයක් ගෙන පිටවන ශිෂ්‍ය ආධුනිකයන් වෛද්‍යවරුන් ලෙස පිලිගැනීම සහ ඒ හරහා සයිටම් සහතිකය උපාධි සහතිකයක් ලෙස පිලිගැනීම වැලැක්වීම සදහා වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට අභියාචනාවක් ඉදිරිපත් කළේ අභියාචනාධිකරණය ජනවාරි මස 31 වැනිදා දුන් තීන්දුවකට ප්‍රතිචාර වශයෙනි.

හෙට දිනත් පෙත්සම් විභාගය කැදවන බවට නිවේදනය කළ පසුව මහාචාර්යවරයා අධිකරණ සංකීර්ණයෙන් පිටත්ව යනවිට ජනමාධ්‍යවේදින් ඔහු වෙත සමීප විය.

“දැන් මගේ හෘදයත් ටික ටික අක්‍රිය වෙනවා. මගේ පෙනහලු ඇදුමට බර වෙනවා. මගේ මොළය ටික ටික පිරිහෙනවා. ඒත්, මේ රටේ පොදු ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය මුදලට නතුවීම වැලැක්වීමට මගේ තිබෙන අධිෂ්ඨානය එන්න එන්න වැඩි වෙනවා. ඒක නවතින්නේ කවදහරි මම අවසාන හුස්ම හෙළපු දාටයි. මට කියන්න තියෙන්න එච්චරයි“

ඔවුන් වෙත එසේ පවසමින් මහාචාර්ය කාලේ ෆොන්සේකා පිටත්ව ගියේය. මින් පෙර සයිටම් අරගලයට මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වන ශිෂ්‍ය ව්‍යාපාරයට සහයෝගය දෙනවාදැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට මහාචාර්ය ෆොන්සේකා පිලිතුරු දුන්නේ “මම හිතනවා ඔවුන් අපට සහයෝගය දක්වයි කියලා“ යනුවෙනි.

 

Leave a Reply