කහටගහ පතලේ කම්කරු අරගලයට ජයක්! – උපවාසය නවතී

2016.06. 27 kahatagaha workers

කහටගහ පතලේ සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් කම්කරු නිලධාරින්ගේ මැදිහත්වීමෙන් කම්කරු නියෝජිතයන් හා පතල් කළමනාකාරිත්වය අතර අද දින පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මාරාන්තික උපවාසය නතර කිරීමට තීරණය කර ඇත.

වසර 40කට අධික කාලයක් තිස්සේ පතල් කම්කරුවන්ට අවදානම් දීමනා ලෙස ලැබෙන්නේ රු.16ක  දෛනික ගෙවීමක් බැවින් එය රු.400 දක්වා ඉහළ දමන ලෙස කම්කරුවෝ ඉල්ලා සිටියහ. එහෙත් කම්කරුවන් 59 දෙනකුට එවැනි වැටුප් වැඩිකිරීමක් කරන්නට ආදායම් තත්වය ප්‍රමාණවත් නැති බව පවසමින් කහටගහ ග්‍රැෆයිට් පාලකයන් ඊට එකගවූයේ නැත. ඉල්ලා සිටි රු 400 වෙනුවට දෛනිකව රු 50 ක් එනම් මාසිකව රු 1500ක දිමනාවක් පාලකයන් විසින් යෝජනා කළද කම්කරුවෝ ඊට එක හෙළාම විරුද්ධ වූහ. අඩි දෙදහසක පමණ ගැඹුරු දොන්වන්වල වැඩකරන කම්කරුවන්ට අවදානම් දීමනාව ඉහළ නැංවීමට අවසානයේ එකගතාවක් ඇතිකරගත හැකි වූයේ පතලේ මිනිරන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5කින් වැඩිකිරීමට කම්කරුවන් එකග වීමෙනි. මේ අනුව ජූලි මස 1 වැනිදා සිට කම්කරුවන්ට දෛනිකව රු.400 බැගින් එකතුවන අතර කම්කරුවකු විසින් දෛනිකව පතලෙන් මිනිරන් ටොන් 1.5ක් ලබාදිය යුතුව ඇත. මෙම අරගලයේ ජයග්‍රහණයක් ලෙස කම්කරැවකුගේ මාසික වැටුපට රු.12000ක් අවදානම් දිමනාව එකතුවන්නට නියමිත බව පතල් කම්කරු නියෝජිතයෙක් ‘ලංකාවීව්ස්‘ වෙත පැවසීය.මේ අනුව දෙදින මාරාන්තික උපවාසයක් සහිත වූ දින 5ක අරගලයකින් පසුව කහටගහ පතලේ සේවකයෝ අද සවස ජයග්‍රාහී ලෙස පතලෙන් මතුපිටට පැමිණියහ.

මෙම කම්කරු සාකච්ඡාවට හාම්පුතුන් වෙනුවෙන් කහටගහ ග්‍රැෆයිට් ආයතනයේ සභාපති, කළමනාකරු, ගනකාධිකරී ඇතුළු නියෝජිතයන්ද කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් වයඹ පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස්වරයා මැදිහත් වූහ.

Leave a Reply