යුද්ධයෙන් පීඩාවට පත් සියල්ලන්ගේ ප්‍රශ්න සියල්ල වහා විසඳන ලෙස බල කරමින් ඔවුන්ට ඉල්ලීම් ඉල්ලමින් වීදියට පැමිණෙන්නට පෙර සාධාරන ආකාරයට සැලකිය යුතු බවත් පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. එම පක්සයේ දේශපාලන මන්ඩලය විසින් 2016 නොවැම්බර් 06 වැනිදා නිකුත් කළ මෙම නිවේදනය පහත පළ වේ.
———————————————————
තමන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස ආබාධිත හමුදා සාමාජිකයන් සිදු කරන උද්ඝෝෂණයට දින ගණනාවක් ගත වුවද තවමත් ඒ සඳහා විසඳුමක් ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන නැත. මේ අතර එම උද්ඝෝෂණය පදනම් කරගෙන සිය ජාතිවාදී දේශපාලන ව්‍යාපෘති ඉටු කර ගැනීමට විවිධ දේශපාලන බලවේග මැදිහත් වෙමින් සිටී. මෙම සෙබළුන් යුද්ධයේදී ආබාධිතවුවන් වන අතර ඔවුන්ගේ අරගලය පැන නැගී තිබෙන්නේ සිය වැඩිහිටි වියේ සුරක්ෂිතතාවය වෙනුවෙනි. මෙම ප්රශ්නය සමස්ත ලාංකේය වැඩකරන ජනතාව මුහුණපා ඇති අවදානමකි. දැනට විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේ සමස්ත වැඩකරන පන්තියෙන් සුළුතරයක් වන රාජ්‍ය අංශයේ සේවකයන් පමණක් වන අතර පුද්ගලික අංශයේ කම්කරුවන්, වතු කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, ස්වයං රැුකියා නියුක්තිකයන් ඇතුළු අනෙකුත් සියලූ කොටස් වල එම අයිතිය උල්ලංඝනය වී ඇත. පසුගිය අයවැය මගින් රජයේ සේවකයන්ගේ එම අයිතියද අහෝසි කිරීමට ආණ්ඩුව උත්සාහ කළේය. හමුදා සෙබළුන්ගේ උදාහරණයෙන්ද පෙනෙන්නේ රජයේ සේවකයන්ට වුව විවිධ කොන්දේසි පනවමින් එම අයිතිය අහිමි කෙරෙන බවයි. සියලූ වැඩකරන ජනතාවට විශ්‍රාම වැටුපක් සඳහා ඇති අයිතිය, හුදු වරප්‍රසාදයක් නොව අයිතියක් ලෙස පිළිගන්නා අපි මෙම ආබාධිත සෙබළුන්ටද එම අයිතිය සුරක්ෂිත කරන ලෙස බල කරමු.
එම අයිතිය ඔවුන්ට හිමි විය යුතුව තිබෙන්නේ ජාතිවාදී දේශපාලන ඒජන්තයන් පවසන ආකාරයට ‘යුද්ධය ජයග්‍රහණය කළ රණවිරුවන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමක්‘ ලෙස නොවේ. යුද්ධයට සහභාගී වූ නිසා කිසිවෙකුට විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු නොවේ. එමෙන්ම යුද්ධය මෙම හමුදා සෙබළුන්ගේ නිර්මාණයක් නොවන අතර එහි සැලසුම්කරුවන් වුයේ දේශපාලන තන්ත්රයයි. මේ අය එහි ගොදුරු පමණි. මෙම උද්ඝෝෂණයේ පැන නැගීම විසින් පෙන්වන්නේ යුද්ධයේ විනාශයට ගොදුරුවූ වින්දිතයන්ට අවම සාධාරණය ඉටු කිරීමට පවා පාලකයන් අසමත් වී ඇති බවයි. දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය තවම නොවිසඳී පවතින අතර කිසිදු චෝදනාවක් නැතිව වසර 15ක් පුරා සිරගතව සිටින්නන් සිටින බව මානව හිමිකම් කොමිසම මෑතකදී නිකුත් කළ වාර්තා මගින්ද තහවුරු කර ඇත. අතුරුදන්වූවන්, පැහැර ගැනීමට ලක්වුවන් වෙනුවෙන් පොරොන්දුවූ ක්‍රියාමාර්ග පවා ගැනීම ආණ්ඩුව දිනෙන් දින අනන්තය දක්වා කල් දමමින් සිටී. යුද්ධයේදී ලිංගික හිංසන ඇතුළු විවිධ මනුෂ්‍යත්වයට පටහැනි අපරාධ වල ගොදුරු බවට පත්වුවන්ටත් දේපල අහිමි වූවන්ටත් සාධාරණය ඉටුවී නැත. ඒ සුවහසක් ප්‍රශ්න අතර රජයේ හමුදාවල සේවය කළ සෙබළුන්ගේ වෘත්තීය අයිතීන් පවා නොලැබීමේ ප්‍රශ්නයද තිබේ. මෙමගින් පෙනී යන්නේ පාලකයන් යුද්ධයට සෘජුව මැදිහත්වූ හමුදාවේ සහ එල්.ටී.ටී.ඊයේ සාමාජිකයන්ද, යුද්ධයට මැදිවූ සිවිල් ජනතාවද ඇතුළු කිසිවෙකුට යුද්ධය විසින් ඉතිරි කරන ලද ප්‍රශ්න විසඳීමට පියවර ගෙන නැති බවය.
යුද්ධයෙන් පීඩාවට පත් සියල්ලන්ගේ ප්‍රශ්න සියල්ල වහා විසඳන ලෙස බල කරන අපි ඒ සියලූ ප්‍රශ්න තනි සමස්තයක් ලෙස ගෙන එක්සත්ව සටන් වදින ලෙස සියලූ යුද වින්දිතයන්ගෙන් ඉල්ලා සිටිමු. ආබාධිත හමුදා සෙබළුන්ගේ ප්රශ්නය ඔවුන්ට ‘රණවිරු කටු ඔටුන්න පළඳා නැවත මුලා කිරීමක් වෙත දක්කනු වෙනුවට වෙනුවට පීඩාවට පත් සියලූ ජන කොටස් වල අරගල සමග ඒකාබද්ධ කරන ලෙස යෝජනා කරමු. යුද්ධයේ අතුරු පල වලට විසඳුම් දෙන පොරොන්දුව සිය පොරොන්දු ලයිස්තුවේ ඉහළින්ම තබාගත්, ඒ හරහා ඡුන්ද ලබාගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව යුද වින්දිතයන්ගේ මේ සියලූ ප්‍රශ්න පිලිබඳ සිය වැඩපිළිවෙල වහා සමාජයට ඉදිරිපත් කළ යුතු බවද අපි දැඩිව පවසා සිටිමු.
දේශපාලන මණ්ඩලය – පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2016 නොවැම්බර් 06