මාධ්‍යවේදීන් ඝාතනය කළේ හෙන්දවිතාරනගේ කල්ලියක්
Posted on 03.20.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බවට එවකට හමුදාපති සරත් ෆොන්සේකා හෙළිදරව් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදිය සිදුකර ඇත්තේද මෙම විශේෂ කණ්ඩායම විසින් බවත් එකල මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත් මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත් එවක කොළඹ භාරව සිටි මේජර් අජිත් පෙරේරා නිසි ලෙස රාජකාරි නොකළ බවට ෆොන්සේකා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බවද වාර්තා කර ඇත. මෙම අපරාධය සිදුවූ කාලයේ කොළඹ ප්‍රදේශ බාරව සිටි මේජර් ජෙනරාල් අජිත් පෙරේරා මේ වනවිට විශ්‍රාම ගෙන ඇත.
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින බුද්ධි අංශ නිලධාරී ආනන්ද උදලාගමට සෑම මසකම අවසන් ඉරිදා පෙ.ව 9.00-12.00 දක්වා වන කාලය තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් විසින් නියෝග කර තිබේ. මෙම නඩුව නැවත ජූනි මස 19 වන දා විභාගයට ගැනීමට නියමිත ය.