චීන ආරක්ෂක ඇමැති – ජනාධිපති හමුවේ පිට කසාගැනීම්!

රාජ්‍යතාන්ත්‍රික සබදතා සවිමත් කරගැනීම වෙනුවෙන් ලංකාවට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජෙනරාල් චෑන්ග් වන්ක්වාන් අද(20) පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවිය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර තානාපති සබඳතා ආරම්භ කර වසර 60ක් වැනි කාලයක් ගතව ඇති අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිම තම රටේ අරමුණ බව ද චීන  ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. එසේම වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජිය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බව චීන ආරක්ෂක අමාත්‍ය චෑන්ග් චන්ක්වාන් එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
දෙරට තුළ පවතින මිත්‍රශිලී සබඳතාව හේතුවෙන් ගිවිසුම් රැසකට එළඹෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කිසිදු ගිවිසුමක් මඟින් මෙරට අභිමානයට, ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් සිදු නොවන බවය. ලංකාව සහ චීනය අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට ස්වාධිනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහය අගය කොට තිබේ.

දීර්ඝ කාලයක සිට මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා චීනයෙන් ලබා දෙන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින්ම එම පුහුණු අවස්ථා අඛන්ඩව ලබා දෙනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇත.

Leave a Reply