2017 ජනවාරි මසට යෙදී ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඉරාන සංචාරයට පෙර ප්‍රමාද වී ඇති තෙල් ආනයන සදහා ගෙවීම් පියවිය යුතු බව විද්ශ අමාත්‍යංශය විසින් ඛනිජ තෙල් සංස්ථාවට දන්වා තිබේ.
ඉරානයෙන් ගෙන්වූ අමුතෙල් සදහා ලංකාව විසින් ඉරානයට ගෙවිය යුතු රුපියල් බිලියන 37ක් ගෙවීම පස්වසරක් තිස්සේ ප්‍රමාද වී ඇත්තේ එක්සත් ජනපදය විසින් ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙනි. ඛනිජ තෙල් ඇමති චන්දිම වීරක්කොඩි ඉරානයේ කළ සංචාරයකදී මෙම ගෙවීම් ප්‍රමාදය පිළිබද ඉරාන රාජ්‍ය නිලධාරින් විසින් වමසීමක් කළ අවස්ථාවේදී වහා පියවීමට පොරොන්දු වී ඇතත් තවමත් ගෙවීමට හැකි වී නැත. මෙම තත්වය තුළ ජනාධිපතිවරයා ඉරානයේදී අපහසුතාවකට මුහුණ දෙන පසුබිමක් මෙන්ම සංචාරය කිරීමේ අරමුණු ඉටුකරගත නොහැකි තත්වයක්ද උදා වී ඇති බව විදේශ ආමාත්‍යංශය පවසයි. ලංකාවට ඉදිරියේදී තෙල් සැපයුම් සම්බන්ධවද ජනාධිපතිවරයාගේ ඉරානයේ සංචාරයේදී එකගතා ඇතිකරගැනීමේ අරමුණක් තිබෙන බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළිකරයි.
කෙසේවෙතත් මෙවැනි ගෙවීම් අවසන් කිරීමේ හැකියාවක් ඛණිජ තෙල් සංස්ථාවට නොමැති වී ඇත්තේ රජයේ ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම බව සංස්ථා සේවකයන්ගේ චෝදනාව වී ඇත. විශේෂයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාරයේ අවශ්‍යතා මත යොදවන තත්වයක් උදා වී තිබේ. මෑතකදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව අලුත්වැඩියා කිරීමට සූදානම් කළ රුපියල් බිලියන 13ක් රාජ්‍ය බාණ්ඩාගාරය විසින් ලබාගෙන ඇත. ඉදිරියේදී විදුලි අර්බුදයකට මුහුණ දීම සදහා සංස්ථාවේ තෙල් සැපයුම් විධිමත් කිරීමේ අරමුනින් සපුගස්කන්ද පිරිපහදුව අලුත්වැඩියා කිරීමට එම මුදල අවශ්‍ය වී තිබුණද භාණ්ඩාගාරය එසේ අරමුදල් අත්පත් කරගැනීමෙන් සිදුව ඇත්තේ සංස්ථාවට අවශ්‍ය සැලසුම් ක්‍රියාවට නැංවීමේ බාධාවකි.
සංස්ථාවට ණය ගෙවිය යුතු තවත් රාජ්‍ය ආයතන අතර තාප විදුලිය සදහා ඉන්ධන ලබාගෙන ඛනිජ තෙල් සංස්ථාවට ණය වී ඇති විදුලි බල මණ්ඩලය ද වේ. මේ නිසා එසේ ගෙවිය යුතු රාජ්‍ය ආයතනවල අරමුදල් සම්බන්ධ වගකීමද නැවත භාණ්ඩාගාරය විසින් දැරියයුතු නමුත් නිසි මුල්‍ය කලමනාකරණයක් හා ප්‍රමුඛතා නොමැතිකමින් අර්බුදයක් පැන නගිමින් තිබෙන බව සංස්ථා ප්‍රකාශකයෙක් ‘ලංකාවීවස්‘ වෙත පැවසීය.

