තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වශයෙන් පිළිගත නොහැකි බවට සටන් පාඨ කියමින් එක්සත් ජනපදයේ නගර කිහිපයක විරෝධතා පවත්වා ඇත.
නිව්යෝක් නගරයේ යූනියන් චතුරශ්‍රයේ එක් රැස්වූ ජනයා තමන්ට ට්‍රම්ප් ජනාධිපති ලෙස පිළිගත නොහැකි බවට විරෝධය පළ කළහ.මේ අතර ට්‍රම්ප් ගොඩනැගිල්ල පිහිටි පස්වැනි මාවතේද විරෝධතා පැවති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ස්ත්‍රී විරෝධී, වර්ගවාදී ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණය මෙහෙයවූ ට්‍රම්ප් නිසා එක්සත් ජනපදයේ පාලනය වෙනස්කම්වලට ලක්වන බවට බොහේ අනාවැකි පළ වෙමින් තිබේ. 2017 ජනවාරි 20 ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු අදුරු කාලයක් උදාවනු ඇති බවට එක්සත් ජනපදයේ ස්වදේශිකයන් වූ රතු ඉන්දියන් සම්භවයක් සහිත ජනතාව මෙන්ම කලු අප්‍රිකානු, මුස්ලිම් හා ස්පාඤ්ඤ සම්භවයක් ඇති ජනයා බියට පත්ව සිටිති.
ලන්ඩනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට ද ට්‍රම්ප් විරෝධී බ්රිතාන්යවැසියන් විසින් විරෝධතා පවත්වා ඇත. එහිදී දක්ෂිනාංශිකයන් ඔවුන්ට බාධා කිරීම නිසා ගැටුමක්ද ඇතිව තිබේ.


