தமிழ்
English
Contact
Sunday 10th September 2017    
පොලිසිය, නිලධාරිවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය « Lanka Views | Views of the truth

පොලිසිය, නිලධාරිවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය



ඔක්තෝබර් 21 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මුලුමහත් සමාජයම කෙසේවෙතත් උතුරේ සමාජය සොලවා ඇත. එහෙත් උතුරේ මෙන්ම දකුනේද මෙවැනි අපරාධ එක පෙළට සිදුවේ. සැප්තැම්බර් 5වැනිදා අත්අඩංගුවට ගත් තරුනයකු පොලිස් සිරමැදිරියෙන් පළායාමද අවධානයට ලක් විය. පොලිසිය හා සමාජය අතර මෙම ගැටුම කෙසේ උපදින්නේද යන්න ඒ අවස්ථාවේ කරුණු මත සාකච්ඡාවට ගන්නවා මිස සමස්තයක් ලෙස පොලිසියේ මර්දනකාරිත්වය හා සමාජයේ නිදහස පිලිබද සාකච්ඡාවක් මතු වන්නේ නැත. කෙසේවෙතත්, මේ ලිපිය ලියැවුණේ යාපනය ශිෂ්‍ය ඝාතනයට මසකට පෙරාතුව පුස්සැල්ලාව සිරමැදිරියේදී සැකකරුවකු සියදිවි වසාත් බවට පුවත් පළ වීමෙන් පසුවය.


පසුගිය සැප්තැම්බර් මස 18 වන දින අවුරුදු 32 ක් වයස් වන අධිකරණ වරෙන්තු මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පුස්සැල්ලාව පොලීසියේ පොලිස් සිර මැදිරිය තුළදී මිය ගිය අතර පොලීසිය සදහන් කලේ අදාල සැකකරුවා ඔහු ඇද සිටි කමිසයෙන් ගෙල වැලලාගෙන මිය ගිය බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණීමට පෙර පොලීසිය මෘත ශරීරය ඉවත්කර තිබු අතර, ඇද සිටි කමිසයෙන් ගෙල වැලලාගෙන මියයාම සිදුවිය නොහැකි බව පසුව අධිකරණ වෛද්‍ය නිළධාරියා ද පවසා තිබුණි. මෙම මරණය පොලිස් පහර දීමක් නිසා සිදු වූ බව ඥාතීන් සැක කරන අතර, අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණිමට පෙර සාක්ෂි ඉවත්කර තිබීම බරපතල සැකයකට තුඩු දෙන බවට විවාදයක් නොමැත.

එසේම පසුගිය සැප්තැම්බර් 19 දින ළමා අපචාර චෝදනාවකට වරදකරුවී වසර 10 ක් සිරගෙයට නියමව සිටි රැදවියකු වැසිකිළිය තුළදි ගෙළවැලලාගෙන මියගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසන ලදි. මෙම රැුදවියාගේ ඥාතීන් එසේ සියදිවි නසා ගැනීමට ඔහුට කිසිදු හේතුවක් නොමැති බව පවසමින් බන්ධනාගාර නිලධාරීන්ගේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරයි.

මෙවැනි තවත් සිදුවීමක් සැප්තැම්බර් 20 දින අවිස්සාවේල්ල කුඩාගම ප‍්‍රදේශයෙන් වාර්ථා වෙයි. අනවසර පතළ් පළක් වැටලීමට විශේෂ කාර්ය බලකාය කඩාවදින අතර එම ස්ථානයේ සිටි පිරිස් බේරීම සදහා පලායයි. එසේ පලායන එක් පුද්ගලයකු කැළණි ගගට පනින නමුත් ඔහු ජලයේ ගිලි ජීවිතය බේරා ගැනීම සදහා උපකාර ඉල්ලමින් කෑගසද්දී විශේෂ කාර්්‍ය බලකාය ගිණිඅවි පෙන්වා තර්ජනය කර ගම්වැසියන්ට එම පුද්ගලයා බේරා ගැනීමට ඉඩ නොදෙන අතර අවසානයේ එම පුද්ගලයා දියේ ගිලී මිය යයි. මෙය විශේෂ කාර්ය බලකාය සාහසිකව සිදුකල මනුෂ්‍ය ඝාතනයක් බව ප‍්‍රදේශයේ විහාරාධිපති හිමියන් විසින් අවිස්සාවේල්ල පොලීසියට පැමිණිලි කර ඇත.

අවාසනාවකට පසුගිය දිනවල මෙවැනිම සිදුවීමකින් අත්අඩංගුවට පත් පුද්ගලයකු යාපනය වලිකාමම් ප‍්‍රදේශයේදී ද පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය ද ඒ පිළිබදව දකුණේ කිසිදු මාධ්‍යයක් වාර්තා කර නොමැත.

මෙම සිදුවීම් කිසිවක් හදිසියේ සිදුවූ අමුතු සිදුවීම් නොවේ. ලංකාවේ සාමාන්‍ය පුරවැසියන්ගේ දෛනික සිදුවීම් අතර මෙවැනි සිදුවීම් වාර්ථා නොවන මාසයක් සතියක් සාමාන්‍යයෙන් සොයා ගැනීමට නොහැකි තරම්ය. යැයි අවශ්‍ය නම් කෙනෙකුට තර්ක කිරීමට ද පුලූවන. මේ පිළිබදව යාපනයේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින් නීතිය හා සාමය පිළිබද ඇමති සාගල රත්නායක පවසන්නේ දැන් පොලීසිය ස්වාධීන නිසා ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි බවයි. තවදුරටත් මේ පිළිබදව අදහස් දක්වමින් ඇමතිවරයා මෙම අපරාධ වලක්වා ගැනීමට පොලිස් සිර මැදිරි තුළ සීසී ටීවි කැමරා සවි කිරීමට යෝජනා කරයි.

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සාක්ෂරතාවයේ තරම මැනවින් පෙන්වන උදාහරන ලෙස මේ තත්වය සදහන් කළ නොහැකිය. ඒ නිසා සාපේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහන සම්බන්ධයෙන් වන දේශපාලන අරගලය තුළ මේවා ස්ථාන ගතවිය යුත්තේ කෙසේ ද යන්න හා සමාජමය ප‍්‍රතිවිරෝධයක් නිර්මානය කිරීමේ ආකාරය කුමක් ද යන්න පිළිබ`දව වමේ ව්‍යාපාරය ගැඹුරින් සාකච්ඡා කළ යුතුය.

ජනවාරි 08 ව්‍යාපෘතිය තමන්ගේ බලය සදහා වන මාවත ලෙස තෝරා ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සමාජමය අවශ්‍යතාවයයි. ජනවාරි 08 ජයග‍්‍රහනය විසින් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද කිසිදු ජයග‍්‍රහනයක් උරුමකර නොදුන්නද තවමත් සමහරක් වාමාංෂිකයන් හා සිවිල් කි‍්‍රයාධරයන් විසින් ජනවාරි 08 ව්‍යාපෘතිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සමාජමය අභිලාශයන් හා අවශ්‍යතාවයන් තීවෘර කළ බවත්, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා අවකාශය පුලූල් කල බවත් පවසති.

නමුත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ අවම මූලික ඉල්ලීම්වලින් පැන නැගෙමින් තිබූ විරෝධය මහේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් සම`ග ගැට ගසමින් ජනතාව නොම`ග යැවීමයි. අනෙක් අතට කම්කරුවන්ගේ ගොවීන්ගේ ශිෂ්‍යයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ විරෝධතාවයන්ට පහර දීම වෙඩි තැබීම, පැහැර ගැනීම් අතුරුදහන් කිරීම් රාජපක්ෂගේ පෞද්ගලික වැඩ මට්ටමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද කතිකාව ලඝු කොට දැක්වීය. අවසන් වශයෙන් එය ක‍්‍රමයේ වරදක් නොව පුද්ගලයාගේ වරදක් බව පවසමින් ක‍්‍රමයේ පැවැත්මට පුද්ගලයා මාරු කරමින් අදාල බල ව්‍යාපෘතිය සම්පුර්ණ කරගන්නා ලදී.

ජනතා විමුක්ති පෙරමුණ ද දැනුවත්ව හෝ නොදැනුවත්ව අනෙක් සමහරක් වාමාංශිකයන් හා සිවිල් කි‍්‍රයාකාරිකයන් මෙන්්ම මෙම කි‍්‍රයාවලිය සදහා වෙහෙස වී බරවැඩ ගොඩාක් සිදුකරන ලදි. එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතිකත්වයට ඌනනය වී අන්තිමේ දී කොමිසන් සභා පිහිටවීම දක්වා පල්ලම් බසින ලදි. විධායක ජනාධිපති ධුරය ද  අහෝසි කිරීමද සාකච්ඡා මේසයෙන් හැලූණි. අවසානයේ පරම විසදුම ලෙස 18 සංශෝධනය ආපස්සට යවා 19 ගෙන එමින් කොමිෂන් සභා පිහිටුවන ලදි. සියලූ දෙනාම පාහේ පොලිස් කොමිසම පිහිටුවා පූජිත පොලිස්පති වූ පසුව නියම පොලීසියක් දැන් නිර්මානය වනු ඇතැයි උදම් ඇනූහ. දැන් එම පොලීසිය ද පූජිත ද පරන පොලීසියම බව හො`දින්ම පෙන්වා දෙමින් සිටියි.

රාජපක්ෂගේ කාලයේ එක රටක් එක පාතාලයක් යන සංකල්පය යටතේ තමන්ට හිතේශී නොවන පාතාලය සමූළ ඝාතනය කරන්නට පොලීසියට බලය දී තිබුණි. පොලීසියට,  ඕනෑම පුද්ගලයකු ‘ආයුධ පෙන්වීමට ගොස් සිදුවූ ගැටුමකින්’ යන ජනප‍්‍රීය ලේ්බලය යටතේ මාරා දැමීමට ජන විඥානයෙන් ද අවසරය ලැබ තිබුණි. මැද පාන්තික ජන විඥාණය පාතාලය. මිනීමරුවන් සිරකරුවන් ආදින්ට දක්වන භීතිය අවසරය කරගනිමින් රාජ්‍ය මර්දන යාන්ත‍්‍රනය ජනතාවගේ ආශිර්වාදය මැදම තහවුරු කරන ලදී.

එය කෙතරම් ඛේදනීය අන්තයන්ට ගමන්කර ඇතිදැයි එක්තරා අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් සහෝදරයාට සිදුවූ එක් අකරතැබ්බයකින් වටහා ගැනීමට පුලූවන. වැලිකඩ සිරකරුවන් දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව සිරකරුවන්ගේ කැරැුල්ලක් හා ආයුද සන්නද්ධ සිරකරුවන් පිරිසක් පලායාම ගැන ප‍්‍රවෘතියක් මවන ලදි. එම ප‍්‍රවෘතියෙන් කැළඹෙන මැද පාන්තික මනෝභාවයේ ප‍්‍රකාශකයා වෙමින් විජිත හේරත් පැවසුවේ ආයුධ සන්නද්ධ සිරකරුවන් නිදැල්ලේ සිටීම ජන ජීවිතයට තර්ජනයක් බවයි.

වමේ ව්‍යාපාරයක මැදිහත්වීම මත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද සාක්ෂරතාවය පන්ති අරුතින් විප්ලවීය අරුතින් නැවත ප‍්‍රති නිර්මානය නොකරන තාක් කල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද ධනේෂ්වර බල සෙප්පඩ විජ්ජා වෙනුවෙන් ද මැද පාන්තික සැප පහසු ජිවිතයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ද දැනුවත්ව හෝ නොදැනුවත්ව කඬේ යාමට හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වියුක්තව කථා කරන මහත්වරුන්ට කරන්නට වෙනත් කිසිවක් ඉතිරි නොවනු ඇත.අප ඉහතින් ස`දහන් කළ සිදුවීම් කිසිවක් පොලිස් අත්අඩංග%වේදී පැය 24 ඉක්ම නොගිය සිදුවීම්ය. ර`දවා තබා ගැනීමේ කාලය තව තවත් දීර්ඝ වන විට සිදුවීම් මීටත් වඩා වැඩිවීම ස්වභාවිකය. නමුත් යහ පාලන ජනාධිපතිවරයාම 2015 පෙබරවාරි 06 දා පැය 24 වෙනුවට පැය 48 දක්වා පොලිස් භාරයේ ර`දවා තබා ගැනීමේ කාලය තවත් වසර දෙකකට දීර්ඝ කරන විට අප හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකළ කිසිවෙක් ඊට විරුද්ධ වූයේ නැත. එසේම මානව හිමිකම් කොමිසම විසින් එච්.එන්.ඞී.ඊ. සිසුන්ට කළ පහරදීමට අදාල නිළධාරියාගේ වැඩ තහනම් කර සිටියදී පොලිස් කොමිසම විසින් එම නිළධාරීයා නැවත සේවයේ පිහිටුවා මානව හිමිකම් කොමිසමට එරෙහිව නඩු කියන විට සාධාරණ පොලිස් කොමිසම පිළිබ`දව චරිත සහතික දුන් කිසිවෙක් සොයා ගන්නට ද නැත.

ධනේශ්වර රාජ්‍යයේ මර්දන යාන්ත‍්‍රණය දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව හැසිරවෙන්නේ ඒ ස`දහා හො`දින් පුහුනු කරවනු ලැබූ අඛණ්ඩතාවය බි`ද නොගෙන පවත්වාගෙන එනු ලබන නිළධාරී සම්ප‍්‍රදායක ආධාරයෙනි. එය බි`ද දැමීම සරළ නැත. එය සැම විටම අවසන් අර්ථයේ දී ධනේශ්වර පංතියේ රැුකවරණය මත ආරක්ෂා වෙයි. කොමිෂන් සභා හෝ ධනේෂ්වර ව්‍යුහ වල සිදුකරනු ලබන වෙනස්කම් වලින් පමණක් කිසිවිටක මෙය විනාශ කිරීමට ද නොහැක.
පොලීසියෙන් මෙන්ම ධනේෂ්වර රාජ්‍යයේ අනෙකුත් සියලූම මර්දන ආයතන වලින් හා ඒවායේ සේවයේ පිහිටුවා තිබෙන නිලධාරීන්ගෙන් ධනේශ්වර පංතියේ ඍජු මැදිහත්වීමකින් තොරව ද නිරන්තරයෙන් ජනතාව මත විවිධාකාරයේ පීඩාවන් එල්ලවීම සිදුවෙයි. එම පීඩාවන්ට එරෙහිව ජනයාගේ සාංසිද්ධික නැගිටීම්වලද අඩුවක් නැත. පංති ව්‍යාපාරයේ වගකීම වන්ගේ එම නැගිටීම් හුදකලා සිදුවීම් වලින් ඉදිරියට රැුගෙන විත් ධනේශ්වර රාජ්‍යයේ මර්දනීය ස්වභාවය පිළිබ`ද පළමු පාඩම පංතියට ඉගැන්වීමේ අවකාශය පුලූල් කර ගැනීමය. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද සැමවිට උගුලක් වන මහේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා, කොමිෂන් වැනි, සාකච්ඡුා මේසවල සිට මහ පොළවේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න දක්වා රැගෙන ඒමය. ප‍්‍රථිවිරෝධයන් මතුකර ගැනීමට හා ප‍්‍රතිවිරෝධයන් වර්ධනය කරගැනීමට නායකත්වය දීමය.




Related News