දුම්රිය මුරකරුවන්ගේ වර්ජනය නිසා හරස් මාර්ග අනතුරුදායකයි!

unprotected-level-crossing

සිය මාසික දීමනාවට රුපියල් පන්දහසක අමතර මුදලක් එකතු කරන ලෙස කර ඇති ඉල්ලීම නොසලකා හැරීම හේතුවෙන් දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය විසින් අද (31දා) සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

සිය සේවය ස්ථිර නොකිරීම, ප්‍රමාණවත් වැටුපක් නොමැතිකම, දින 31ක් රාජකාරි කළ විට දින 30කට වැටුප් ගෙවීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ගේට්ටු මුරකරුවන් මෙම වර්ජනයට එළඹී සිටී. අද දින සිට දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල කිසිවකු නොමැති බැවින් එම දුම්රිය හරස් මාර්ගවලින් ගමන්කිරීම අනතුරුදායක විය හැක. මේ අතර ඇතැම් දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් තමන් සේවය කරන ගේට්ටුවල රතු පැහැති කොඩියක් සවිකර සේවයෙන් ඉවත්ව සිටින බව වාර්තා විය.

දිවයින පුරා, දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන වර්ජනය හේතුවෙන් දුම්රිය හරස් මාර්ග හරහා දුම්රිය ධාවනය කිරීමේදී දුම්රියේ වේගය අඩාලකොට විශේෂ අවධානයකින් ගමන් කරන ලෙස දුම්රිය පාලක විසින් දුම්රිය රියැදුරන්ට හා දුම්රිය නියාමකවරුන්ට උපදෙස් දී තිබේ. දුම්රිය හරස්මාර්ග හරහා ගමන්කරන රථවාහනවලටද අද දිනයේ විශේෂ අවධානයකින් ගමන්කරන ලෙස ඉල්ලීමක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මාධ්‍ය වෙත පැවැසීය. මීට අමතරව මේ පිළිබඳව ‍පොලිස් ප්‍රධානීන් හරහා ‍පොලිස් ස්ථානවලටද දැනුම්දී ඇත.
එසේම සිය ඉල්ලීම්වලට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් රටපුරා සිටින දුම්රිය ගේට්ටු මුරකරුවන් අද ප්‍රධාන නගර කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වීමටද තීරණය කර ඇත.

Leave a Reply